වට් Non sense - කෙසෙල් ගෙඩිය



හැම ඔෆිස් එකකම ඉන්නවනේ ඉතින් ජල්තර වැඩ කරන කරන අය. මේ කියන ඔෆිස් එකෙත් හිටියා අන්න එහෙම සගයෝ දෙන්නෙක්.

ඔන්න එක ආයතනේක හිටියලු ඩිලිවරි සර්විස් කරන මනුස්සයෙක් . මෙයාගේ නම වසන්ත. වසන්තගේ තාත්තා වැඩ කරෙත් වසන්තගේ ඔෆිස් එක ලගම වෙන ඔෆිස් එකක. වසන්ත කසාද බැඳලා වෙනම ගෙදරක තමා ජීවත් වුනේ.

වසන්තගේ රස්සාවත් එක්ක ඔෆිස් එකේ නවාතැන් ගත්තා. වසන්ත ගොඩක් වෙලාවට සති අන්තේ තමා ගෙදර ගියේ. ඉතින් වසන්තට හැමදාම දවල් කෑම එක ගෙනත් දෙන්නේ වසන්තගේ තාත්තා.

වසන්ත ගොඩක් වෙලාවට ඩිලිවරි වලට ඔෆිස් එකෙන් පිට ගිහින් තමා ඉන්නේ. වසන්ත එක්ක ඉන්නවා තව සගයෝ දෙන්නෙක් මේ දෙන්නා තමා වසන්තගේ තාත්තා ගෙනත් දෙන කෑම එක පරිස්සමට තියාගෙන වසන්තට දෙන්නේ. තාත්තලා හැමදාටම ළමයිට හරි ආදරෙයිනේ. කොච්චර කරදඩු උස් මහත් උනත් දෙමාපියන්ට ඉතින් එයාලගේ දරුවෝ ළමයි. 

තාත්තලා හැමදාටම ළමයිට හරි ආදරෙයිනේ. කොච්චර කරදඩු උස් මහත් උනත් දෙමාපියන්ට ඉතින් එයාලගේ දරුවෝ ළමයි. මේ කෑම එකත් හරී සුවඳයිලු. ඉතින් අර සගයෝ දෙන්නට කටට කෙළ උණනවලු. බැරිම තැන බෑග් එක ඇරලා බැලුවලු බත් පාර්සල් එකට අමතරව කෝලිකුට්ටු කෙසෙල්ගෙඩි දෙකකුත් දාලා. ඉතින් අර සගයෝ දෙන්නට වසන්තගේ කෑම එක කන්න බෑනේ.

මොකද ඉතින් වසන්තයා බඩගිනි උනාම හනුමා වගේ. කෑම නැති උනොත් මේ ඩබලව තමා කන්නේ. ඉතින් අර සගයෝ දෙන්නා කෑම පාර්සල් එක තියලා හොරෙන් කෙසෙල් ගෙඩි දෙක කෑවලු. දවස්ගානක් තිස්සේ හැමදාම වසන්තගේ තාත්තා මෙහෙම කෙසෙල්ගෙඩි දෙකකුත් දාලා කෑම එක ගෙනත් දුන්නලු. අර සගයෝ දෙන්නා කෙසෙල් කාලා කෑම පාර්සල් එක තිබ්බලු. 

ඔන්න දවස් ගානකට පස්සේ වසන්තගේ තාත්තා එනකොට වසන්ත ඔෆිස් එකේ හිටියලු. තාත්තා ඉතින් කෑම එක අතටම දුන්නලු. සතියකින් විතර වසන්තව හම්බවුන නිසා තාත්තයි වසන්තයි , වසන්තගේ සගයෝ දෙන්නයි කට්ටියම ගියාලු ලන්ච් රූම් එකට. කෑම එක එළියට ගන්නකොට වෙනදා වගේම වසන්තගේ තාත්තා කෙසෙල්ගෙඩි දෙකකුත් දාලා තිබ්බලු. වසන්ත ඉතින් ඒක දැකලා කිව්වලු "ආහ් අද කෙසෙලුත් ගෙනල්ලා" කියලා. වසන්තගේ තාත්තා පුදුම වෙලා කිව්වලු

" අද විතරක් නෙමෙයි. මං හැමදාම කෙසෙල් ගෙඩි 2 ක් දැම්මනේ " කියලා. වසන්ත සගයෝ දෙන්නා දිහා බැලුවම මෙච්චර කල් කෙසෙල් වලට සිද්ධ වුනේ මොකද්ද කියලා තේරුනාලු. සගයෝ දෙන්නට කර කියාගන්න දෙයක් නෑලු. දෙන්නා මූණට මූණ බලන් ඉදලා " බඩගිනි නෑ පස්සේ කන්නම් " කියලා භූමිතෙල් ගහපු ගැරඬියා වගේ ශේප් එකේ මාරු වෙලා ගියාලු.

ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS