වට් Non sense - කුඩ හොද්ද



මේ කතාව සිද්ධ වුනේ කොළඹට නුදුරුන් නැවතිලා රස්සාව කරන නෝනා කෙනෙක්ට. මේ නෝනා ජීවත් වුනේ බෝඩිමේ තනියම. මෙයාගේ නම මෙතැන් පටන් සුමනා කියමුකෝ. සුමනා කියන්නේ යකෙක්ටවත් බය නැති ඕන දේකට මූණ දෙන යස්ස ගෑනියෙක්. පිරිමි දහයකට උනත් ඇට්ටි හැලෙන්න තඩිබාන්න තරම් හයිය හත්තිය සුමනාට තිබ්බා.

ඒ නිසාම සුමනා වැඩ කරන කාර්‍යාලයේ උනත් කට්ටිය මෙයාට බයයි. එයාලා නම් ඒක හැඳින්නුවේ ගෞරවේ කියලා. ඇත්තටම ඒක ගෞරවේට වඩා බය කිව්වොත් හරි. කොටින්ම කිව්වොත් බොස් පවා ලොකු ගෞරවයක් දැක්වුවා.

ඔන්න කතාව මෙහෙමයි. සුමනා උයන්න බඩු ටිකක් ගන්න කියලා පොලට ගියා. ඒ වෙලාවේ වැහි පොදයක් වැටුනත්, ඒ වැහිපොදේකට බෑ සුමනාව නවත්තන්න. කුඩෙත් ඉහලගෙනම ගියා පොළට, සතියකට ඇතිවෙන්න එළවලු ගත්ත සුමනා එනකොට නම් වැස්ස පායලා. ගෙදර ආපු ගමන් එළවලු මල්ලත් ෆ්‍රිජ් එකට කාලා බීලා නිදාගත්තා. 

පහුවදා උදේ පාන්දරම නැගිටලා අලුත්ම අලුත් එළවලු වලින් කෑමත් උයාගෙන ඔෆිස් ගියාලු. ගිහින් අනිත් අයටත් එළවලු වල මිල ගණන් එහෙමත් කිව්වලු. වැඩත් ඔක්කොම ඉවර කරාලා ගෙදර යන්න හදද්දි හෝ ගාලා වැස්ස. සුමනාව නවත්තන්න බෑනේ වැහි වලට. කුඩ නැති අය වැස්ස පායනකන් යන්න බැරුව ඉන්නකොට ඒගොල්ලොන්ටත් කින්ඩියට හිනාවක් දාලා , සුමනා බෑග් එකට අත දාලා කුඩේ ගන්න හැදුවත් කුඩේ නෑලු. සුමනා හිතුවලු ශුවර් එකට ඔෆිස් එකේ කෙනෙක් කුඩේ ගන්න ඇති කියලා. වැස්ස පායනකන් හිටපු අයට කින්ඩියට හිනා වුන නිසාම ලැජ්ජාවටත් එක්ක සුමනාත් වැස්ස පායනකන්ම බිම බලාගෙන හිටියලු. 

ඊට පස්සේ දවසෙත් වැස්ස නිසා කුඩ හොරාට දෙස් තිය තිය ගෙදර මුල්ලක විසි කරලා තිබ්බා ඉරිච්ච කුඩේකුත් අරන් වැඩට ගියාලු. ගිහින් හැමෝගෙන්ම ඇහුවලු කොළපාට කුඩයක් දැක්කද කියලත්, හැමතැනම හෙව්වත් හම්බුනේ නෑලු. බැරිම තැන ඇවිල්ලා හිටපු ඔක්කොටෝම ඇහෙන්න බැන්නලු " මගේ කුඩේ ගත්තු එකාට හොඳක් වෙන් නෑ. මගේ කුඩේ යටින් යන එකාට හෙණ හත ගහන්න ඕනේ . මගේ අලුත්ම කුඩේ අපිට හරියද්දි බලන් ඉන්න බැරි උන් තමා මේවා කරන්නේ " කියලා. දෙස් දෙවොල් තිය තිය අර ගෙනාපු පරණ , කසිකබල් ඉරිච්ච කුඩේ මැහුවලු. 

ඊට පස්සේ රාජකාරි නිම කරලා ගෙදර යද්දි හිත හිත ගියාලු මොනවද හෙට දවල්ට ඔෆිස් එකට උයන් යන්නේ කියලා. ඊට පස්සේ මතක් උනාලු එදා ගෙනාපු එළවලු මල්ලේ පතෝල තිබ්බා නේද කියලා. හොඳ රහට පතෝල හොද්දක් හදනවා කියලා. ගෙදර ගිහින් කාලා බීලා නිදාගෙන පහුවදා උදේම නැගිටලා උයන්න ගියාලු. ගිහින් ෆ්‍රිජ් එක ඇරලා , එළවලු මල්ල අරන් පතෝල කරල ගන්න ගියාම සුමනාට හික් ගෑවුනාලු. හද්දෙයියනේ එදා පොළේදි පතෝල කියලා බෑග් එකට දාන් තියෙන්නේ සුමනාගෙම කුඩේ..


RECOMMEND POSTS