වට් Non sense - කලබලේ



 
බොරු ආටෝප වර්ණනා අවශ්‍ය නෑ. මෙන්න මේකයි කතාව. මේක එක්තරා පුවත්පත් ආයතනය සිද්ද වුන මරු කතාවක්. මේ ආයතනයේ හිටියා ඔන්න. හැමදේටම පැනගෙන උදව් කරන හරිම කලබලකාරී පියන් මහත්තයෙක්. වැඩේ කියන්නේ මෙයා ඕන එකටයි එපා එකටයි ඔක්කොටෝම උදව් කරන්න යන එකයි. මෙයාගේ නම දමින්ද.
 
ඕන කෙනෙක්ට උදව් කරන නිසා. ආයතනයේ හැමෝම මෙයාට ආදරෙයි. සමහර වෙලාවට ආදරේ වැඩිකමටයි, ඕන එකටයි එපා එකටයි පැන පැන උදව් කරන නිසාමයි සත්තුවත්තෙම සත්තුන්ගේ නම් අහගන්නත් වෙනවා.මොනා වුනත් හරි හුරතල් චරිතයක්ලු. ආයතයේ කවුරු උනත් දමින්දව අඳුරනවා. දමින්දත් ගොඩක් පරණ සේවකයෙක් නිසා හැමෝම මෙයාව අඳුරනවා.
 
ඔන්න ඔහේ ඒකත් කමක් නෑ කියමුකෝ. මේ කිව්ව පුවත්පත් ආයතනයේ සාමාන්‍ය සිරිත තමයි කාගේ හරි සේවකයෙක්ගේ මළ ගෙදරක් වුනාම, ඔෆිස් එකේ සන්නාම නාමය තියන ශෝකානුකූල බැනර් එක ගෙනිහිල්ලා ඒ ගෙදර ගහන එක. මේ රාජකාරිය දේවකාරියක් ලෙස බාරගෙන ඒක කරන්නෙත් දමින්ද. ඕනෑම වැඩක් බොක්කෙන්ම බැහැලා වැඩකරන ගතියක් දමින්දගේ තියනවා. කොච්චර උනන්දුද කියනවා නම්. සමහර උන්දැලැ හොස්පිට්ල් එකේ ඉද්දි , මැරෙනකන් බලන් ඉන්නවා බැනර් එක ගහන්න යන්න. ඒ තරම් දමින්ද ඇලර්ට් එකේ ඉන්නෙ. බැනර් එක ගහන්න යන වැඩේ කොච්චර වගකීමෙන් කරනවද කියනවා නම් දමින්ද ආසම වචනේ මළගෙදර. ආයතනයේ සේවකයන්ගේ ආච්චිලා සීයලා, මාමලා , නැන්දලා, ඕනම කෙනෙක්ගේ ගෙදර බැනර් ගහන්න යන්නේ දමින්ද. ඔන්න ඔහොම වේලි වේලි ඉන්න වෙලාවක දමින්දට ආරංචි උනා දම්මි මැඩම්ගේ මෑණියම් අභාවප්‍රාප්ත උනා කියලා. දමින්දට දැන් සතුටයි දුකයි දෙකම තියනවා. මැඩම්ගේ අම්මා මැරුණ එකට දුකයි, බැනර් එක ගහන්න චාන්ස් එකක් ලැබුන එකට සතුටුයි.
 
දෙන්නම් ජම්බෝ කියලා. ඔෆිස් එකේ ඔක්කෝම වැඩ ටික ඉවර කරලා බැනර් එකත් අතින් අරන් ඔෆිස් එකේ ට්‍රාන්ස්පෝර්ට් එකකම ගැම්මට යන්න ලෑස්ති උනාලු මළගෙදර. මළගෙදරට ලං වෙද්දි රෑ බෝ වෙලාලු ඉතින්. රෑ උනා කියලා දමින්දව නවත්තන්න බෑ. කට්ටිය හැමෝම මරනේ ළඟ අඬනවලු. දමින්ද ගිහින් ගේ ඉස්සරහම තිබ්බ අඹ ගහේ බැනර් එක ගහලා. ධම්මි මැඩම්ටත් කතා කරලා සමුදීලා ආවලු. එනගමන් ලොකුකමටත් එක්ක බොස්ට කෝල් කරලා කිව්වලු " බොස් වැඩ ඔක්කොම හරි .බැනර් එකත් ගැහුවා " කියලා. බොසුත් දමින්දව වර්ණනා කරාලු ඉතින්. 
 
පහුවෙනිදා උදේ ධම්මි මැඩම්ගෙන් දමින්දට කෝල් එකක් ආවලු. දමින්දත් හරි ආඩම්බරෙන් කෝල් එක ආන්සර් කරපු ගමන් ධම්මි මැඩම් බැනගෙන බැනගෙන ගියාලු. " යකෝ. තොට මගේ අම්මගේ මළගෙදර විහිළුවක්ද? මේ පැත්ත පලාතේ තෝ එන්නෙපා සුනකයා. අරන් පල මේ බැනර් එක" කියලා බැනලා දඩාස් ගාලා ෆෝන් එක කට් කරාලු. දමින්දට හිතාගන්න බෑලු ඇයි කියලා. ඊට පස්සේ මළගෙදර ගිය ඔෆිස් එකේ කෙනෙක්ගෙන්ම තමා ආරංචි උනේ. එදා රෑ දමින්ද කළබලේට අරං ගිහින් තියෙන්නේ " අනිච්චාවත සංඛාරා " බැනර් එක නෙමෙයි. කාන්තා වැඩමුලුවක බැනර් එකක් ඔක්කොටෝම වඩා හපන් ගේ ඉස්සරහම අඹ ගහේ කාන්තා සමුලුව බැනර් එක කලබලේට ගහලා තිබ්බෙත් උඩු යටිකුරු කරලලු. මළගෙදරට ආපු හැමෝම අඹ ගහ දිහා වටවෙලා බලන් ඉද්දි තමයි ධම්මි මැඩම් දැකලා , දමින්දව අමතලා තියෙන්නේ.
 
ජයනි සිතාරි අල්විස්

RECOMMEND POSTS