වට් Non sense - ඉඟුරු ප්ලේන්ටිය



එකෝමත් එක ආයතනය සිද්ධ වුනු හරි අපූරු නරි නාටකයක් තමා මේක . හැම ඔෆිස් එකකම ඉන්නවනේ හරි රසට තේ හදන පියන් කෙනෙක්. මේ කියන ඔෆිස් එකෙත් හිටියා කහට, පාට හරි හරියට දාලා නියම පදමට තේ හදන්න පුළුවන් පියන් කෙනෙක්. මෙයාගේ නම ප්‍රියන්ත.

ප්‍රියන්ත හදන තේ එක බොන්න ඔෆිස් එකේ හැමෝම කැමති. ප්‍රියන්ත තේ හදන දවසට ජීවිතේට තේ බොන්නැති අයත් කෝප්ප උස්සන් යනවලු තේ බොන්න.ඒ තරමටම මේ තේ එක රසයිලු. ප්‍රියන්තගේ තේ එක බීලා හැමෝම ප්‍රියන්තව වර්ණනා කරද්දි ප්‍රියන්තත් ගියේ අඩියක් විතර උඩින්.

අනිත් පියන්ලා ඉරිසියාවේ පැලෙනවලු . ප්‍රියන්තට 70-80 කට තේ හදන්න උදව්වට කිසි කෙනෙක් ඕනේ නෑ.තනියම හරිම ඉක්මනට රසට තේ හදනවලු. දවසක් ඉතින් එක්කෙනෙක්ට ඉඟුරු පාර්සල් එකක් ලැබිලා , ඔෆිස් එකේ තේ හදනකොට දාන්න කියලා එයා මේක අරන් ඇවිල්ලා ප්‍රියන්තට දුන්නලු. දවස් ගානකට තේ වලට දාන්න තරම්  ඉඟුරු ගොඩක් තිබ්බ නිසා ප්‍රියන්ත ඉඟුරු ටික තියාගෙන රසම රස ඉඟුරු තේ එකක් හැදුවලු ඉතින්. මේ ඉඟුරු තේ එක බීපු හැමෝම කිව්වේ අමෘර්ත පරාදයි කියලා. කටින් කට හැමෝටම මේ ඉගුරු තේ එක ගැන ආරංචි වුනාලු. දවසින් දවස තේ බොන්න කට්ටිය වැඩි වෙන නිසා ඉඟුරුත් ටික ටික ඉවර වෙලා , අන්තිම ඉඟුරු ටිකෙන් තේ හදන දවස එද්දි, ප්‍රියන්ත හැමෝටම කියන් ගියාලු අද අන්තිම ඉඟුරු ප්ලේන්ටිය හදන්නයි යන්නේ කියලා. ඉඟුරු ප්ලේන්ටිය නිසාම ප්‍රියන්ත දැන් කා අතරත් ශිහාන් මිහිරංග වගේ ප්‍රසිද්ධයි. 

හැමෝම තේ බොන වෙලාව එනකන් ඇඟිලි ගැන ගැන ඉන්න නිසා ප්‍රියන්තගෙත් ලොකු සීන්. යුද්දෙට යන රණවිරුවා වගේ ගැම්මෙන් ප්‍රියන්ත ගියාලු තේ හදන්න. තේ පරක්කු නිසා ඉවසලා ඉවසලා බැරිම තැන එක්කෙනෙක් ගියාලු ලන්ච් රූම් එකට. ප්‍රියන්ත හිටියේ ඒ ගිය කෙනාට පිටුපාලා තේ හදන ගමන්ලු. " තේ හදලා ඉවරද " කියලා ප්‍රියන්තගෙන් ඇහුවම ප්‍රියන්ත කලබලෙන් හැරිලා බැලුවාලු. ඊට පස්සේ ප්‍රියන්තව දැක්ක ඒ මනුස්සයා ඔලුවේ අතගහගත්තලු. ප්‍රියන්තට කතා කරගන්න බෑ. කට පුරෝලා ඉඟුරු. මෙච්චර කල් ඉඟුරු පොඩි කරලා තියෙන්නේ කටේ දාලා හපලා.  

එදයින් පස්සේ ඒ ඔෆිස් එකේ ඉඟුරු ප්ලේන්ටි තහනම් වුනා. අවුරුදු ගානක් ගිහිල්ලත් සමහරු අදටත් ගෙදර ගිහිල්ලාවත් ඉඟුරු ප්ලේන්ටි බොන් නෑලු.

ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS