මැසි ජනපද සුරැකීමට නව පෝෂණ විසඳුමක්



ලෝක ආහාර සැපයුමට අත්‍යවශ්‍ය මී මැසි ජනපද ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවට අනතුරු අඟවන වාර්තා සමඟ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් මෙම අභියෝගයට විසඳුමක් ලෙස නව ‘සුපිරි ආහාරයක්’ හඳුන්වා දී තිබේ.

මී මැස්සෝ ලෝකයේ බෝගවලින් 35%ක් පමණ පරාගණය කරන අතර  ඇමරිකාවේ පමණක් වාර්ෂිකව ඩොලර් බිලියන 15ක ආහාර නිෂ්පාදනයට දායක වෙති. එහෙත් 2024-2025 අතර ඇමරිකාවේ කළමනාකරණය කරන ලද මී මැසි ජනපදවලින් අඩකට වඩා අහිමි වී ඇති අතර ගෝලීයවද වාර්ෂිකව 30%ක පමණ අලාභයක් වාර්තා වේ. දුර්වල පෝෂණය, වාසස්ථාන අහිමි වීම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මල් පිපෙන ශාක හිඟ වීම මෙයට ප්‍රධාන හේතු වේ.

මෙම ගැටලුවට පිළියමක් ලෙස පර්යේෂකයන් විසින් පරාගවල අඩංගු අත්‍යවශ්‍ය ස්ටෙරෝල් හයක් සහිත නව ආහාර අතිරේකයක් නිපදවා ඇත. මාස තුනක අත්හදා බැලීමකින් හෙළි වූයේ, මෙම ආහාරය ලබා දුන් ජනපදවල සාමාන්‍ය ආහාර ලැබූ ජනපදවලට වඩා 15 ගුණයකින් වැඩි වැඩිහිටි මී මැස්සන් බිහි වූ අතර, ඔවුන් වඩාත් නිරෝගීව සිටි බවයි.

අධ්‍යයන නායක මහාචාර්ය රයිට් පවසන්නේ මෙය මී මැසි පාලකයන්ට පරාග නොමැති විට පෝෂණය සැපයීමට උපකාරී වන බවයි. මෙම සොයාගැනීම 2026 වන විට මී මැසි පාලකයන්ට ලබා දීමට අපේක්ෂා කරන අතර එය ලොව පුරා ආහාර සැපයුම් ආරක්ෂා කිරීමට තීරණාත්මක වනු ඇත.
 
ජනේෂා රත්නමලල
BBC ඇසුරිනි
 

 


RECOMMEND POSTS