බිඳුණු පිඟානේ රැඳුනු නිදානේ



 

සිතිය නොහෙන ආකාරයෙන් ඇතැම් වාසනාවන්තයන්ට නිදන් පහළවේ. එවැනි ත්‍රාසදායී සිද්ධියක් අද එංගලන්තයෙන් අසන්නට ලැබෙන්නේය.


සමහර ගෙවල්වල කෑම කන මේසය අසල රාක්ක ඇත්තේය. මේවායේ බොහෝ විට තිබෙන්නේ පලතුරු භාජන ආදියයි. ගෙදර යතුරු ආදියත් මාරු කාසි වැනි දේත් එවැනි රාක්කවල සාමාන්‍ය වශයෙන් තැබෙයි.
එහෙත් එක් ගෙදරක එවැනි රාක්කයක් මත වැදගැම්මක් ඇතැයි නොසිතෙන විදියේ පැරණි පිඟානක් තිබිණ. ඒ ලන්ඩන් නිවාසයේ තිබුණු පිඟාන යටත් පිරිසෙයින් රන් පවුම් ලක්ෂයක්වත් වටනේ යැයි හදිසියේ සොයා ගන්නා ලදී.


මේ පිඟානේ ගැට්ට යන්තමින් බිඳී ගොස්ය. එහෙත් එහි වටිනාකම ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් දෙකෝටි හය ලක්ෂයකටත් වඩා අධික යැයි මෙවැනි කෞතුක වස්තුවල වටිනාකම දන්නා විශේෂඥයෝ පවසති.


මේ පිඟාන භාවිත කරන ලද්දේ පලතුරු බහාලීමටයි. එය මුලින් මිලදී ගෙන තිබෙන්නේ 1920 දී පමණ ගෙදරක බඩු විකුණන තැනකදීය. මේ පිඟානෙහි 1723-1735 අතර කාලයට අයත් චීන සලකුණක් සටහන් වෙයි. මේ පිඟාන වෙන්දේසි කිරීම භාර චාල්ස් හැන්සන් විශේෂඥයා මෙසේ කියන්නේ. “මා මෙම පිඟාන සොයා ගත්තේ නොබෝදායි. ජපන් පිඟන් බඩු කිහිපයක් සමග මේ පිඟාන රාක්කය මත තිබිණි. කවුරුවත් එය ගණන් ගත්තේ නැත. මෙය ඉතා වටිනා භාණ්ඩයකි.” 


මේ භාණ්ඩය මිලදී ගන්නට චීනයේ කණ්ඩායම් ඉතා ප්‍රබල උනන්දුවක් දක්වති.


“මේ අලුතින් සොයාගත් විචිත්‍ර කෞතුක භාණ්ඩයට ඉතා හොඳ අනාගතයක් ඇත්තේය. එය යන්තමට බිඳී තිබුණද ඉන් එහි අගය අඩු නොවේ.


“මේ වර්ගයේ පිඟන් ලෝකයේ ප්‍රධාන පෙළේ බොහෝ කෞතුකාගාරවල දැකිය හැකි යැයි” විශේෂඥයා කියන්නේය.


මෙවැනි භාණ්ඩ මේ සමයෙහි චීනයේ ඉතා බහුල ලෙස අලෙවි වන බවද ඒ විශේෂඥයාගේ මතයයි. එයට ප්‍රධාන හේතුවක් ඇත්තේය. දැන් චීනයෙහි සිටින මහ ධනවතුන් බොහෝ දෙනා විදේශයන්හි තිබෙන තමන්ගේ චීන සංස්කෘතියට අදාළ වස්තු ආපසු සිය රටට ලබාගන්නට දැඩි කැමැත්තක් දැක්වීම ඒ හේතුවයි. මේ උද්‍යෝගය නිසා අවසානයේදී මේ බිඳුනු පිඟානේ රැඳුනු නිදානේ කෝටි තුන-හතරකට හෝ මිල වේ.


RECOMMEND POSTS