පූසන්ගේ පුදුමාකාර හැකියාව



නිවසින් අතුරුදන්වන බළලුන් කිලෝ මීටර් ගණනක දුරක් ගෙවා ආපසු නිවසට පැමිණෙන පුවත් නිරන්තරයෙන් අසන්න ලැබේ. පසුගිය දා මෙවැනි සිද්ධියක් අප රටෙන් ද අසන්න ලැබුණි. ඒ කුරුනෑගල රිදිගම ටුටූ නමැති බළල් සුරතලකු දින 40 ක් තිස්සේ කිලෝ මීටර් 70 ක් දුර තනිවම ආ අයුරුය. නිවසින් අතුරුදන් වන බළලුන් ආපසු නිවස සොයා පැමිණීම අහඹු සිදුවීමක් නම් නොවෙයි. විද්‍යාඥයන්ට අනුව, මෙය බළලුන්ට ඇති සුවිශේෂී හැකියාවකි. විද්‍යාඥයන් මෙය හඳුන්වන්නේ Psi-trailing යනුවෙනි.

බළලුන්ගේ සිරුර තුළ චුම්භක අංශු අඩංගු බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. මේවා උන්ට පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය හඳුනා ගැනීමට උපකාරී වෙයි. මාලිමාවක් ක්‍රියා කරන ආකාරය මෙන්, උතුරු-දකුණු දිශා හඳුනා ගනිමින්,  නිවැරදි ගමන් මාර්ගය තීරණය කිරීමට මෙය බළලුන්ට ඉඩ සලසා දෙයි. මෙම ක්‍රමය සංක්‍රමණික පක්ෂීන් සහ මුහුදු කැස්බෑවන් වැනි සතුන් ද භාවිතයට ගනී.

චුම්බක සංවේදනයට අමතරව, බළලුන් සූර්යයාගේ පිහිටීම උපයෝගී කරගෙන ද දිශාවන් තේරුම් ගන්නා බව ද විද්‍යාඥයන් විසින් තහවුරු කරනු ලැබ ඇත. හිරු නැගෙන සහ බසින දිශාව අනුව ඔවුන්ට තම ගමන් මාර්ගය වඩාත් නිවැරදිව තීරණය කළ හැකි බව ද පැවැසෙයි. ගඳ සුවඳ හඳුනා ගැනීමට ද බළලුන්ට පුළුවනි. තමන් සිටින නිවසේ, නිවස අයත් භූමියේ සහ නිවසේ හිමිකරුවන්ගේ සුවඳ මීටර් ගණනාවක් දුර සිට වුව ද හඳුනා ගැනීමට බළලුන්ට හැකියාව ඇත.

ලුසිත ජයමාන්න
ලයිව් සයන්ස් ඇසුරිනි ‍


RECOMMEND POSTS