දිනෙන් දින ඔඩුදුවන ඊශ්‍රායල හමාස් අර්බුදය



ලෙබනනයේ බේරූට් අගනුවරදී, හමාස් නියෝජ්‍ය නායක සාලේ අල් අරෝරි ඝාතනය කිරීමත්, ඉරානයේ බෝම්බ පිපිරීම්වලින් ඉරාන වැසියන් 103 දෙනකු මියගොස් 230 දෙනකු තුවාල ලැබීමත් සමඟ, ඊශ්‍රායල හමාස් අර්බුදය ලෝක යුද්ධයක් දක්වා දුරදිග යෑමේ අවදානමක් නිර්මාණය වී ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.

හමාස් නියෝජ්‍ය නායක සාලේ අල් අරෝරි ඇතුළු හමාස් සංවිධානයේ සාමාජිකයන් හය දෙනකු ඝාතනය වූයේ පසුගිය 3 වැනිදාය. ලෙබනනයේ බේරූට් අගනුවර සිටි එම පිරිස ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය.

එය ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයක් යැයි ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය චෝදනා කළත්, ඊශ්‍රායලය එම ප්‍රහාරයේ වගකීම බාර ගත්තේ නැත.

ගාසා තීරයේ හමාස් සංවිධානයට ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සහාය නොඅඩුව හිමිවෙයි. හමාස් සංවිධානයත්, හිස්බුල්ලා සංවිධානයත් දේශපාලනික අංශයකින් මෙන්ම, සන්නද්ධ අංශයකින් ද සමන්විතය. හමාස් සන්නද්ධ අංශය පිහිටුවීමේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ඝාතනයට ලක්වුණු සාලේ අල් අරෝරිය.

57 හැවිරිදි, සාලේ අල් අරෝරී වසර 15 ක් ඊශ්‍රායල බන්ධනාගාරයක සිර දඬුවම් විඳි අයෙකි. නිදහස ලැබීමෙන් පසු ඔහු ලෙබනනයට පිටුවහල් වී, බේරූට් අගනුවර පදිංචි වී සිටියේය.

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ගැටුම් ආරම්භ වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන්, දේශසීමා හරහා ඊශ්‍රායලයට කඩා වැදී පහර දීමෙන් පසුවය. ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වීමට පෙර සිටම, සාලේ අල් අරෝරී ඝාතනය කළ යුතු යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා තිබුණි.

ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතරේ ගැටුම් පවතින්නේ, හිස්බුල්ලා සංවිධානය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ය සහාය දක්වන බැවිනි. ලොව එකම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානය හිස්බුල්ලා සංවිධානයටත් හමාස් සංවිධානයටත් සහාය දෙයි. මේ වනවිට හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පමණක් නොව, ලෙබනන් දේශසීමාවේ, හිස්බුල්ලා සටන්කාමීන් ද ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය පහර දෙයි. ඊශ්‍රායලයෙන් එල්ල වන ප්‍රහාර හමුවේ, තව දුරටත් නිහඬව සිටින බව හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබේ. හිස්බුල්ලා නායකයාගේ අනතුරු ඇඟවීමත් සමඟ ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්කවලට එල්ල කරන ප්‍රහාර වැඩි කර තිබේ. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සමඟ ගැටුම් ඇති කර ගැනීමෙන් වැළැකී සිටින ලෙසය. ගාසා තීරයේ සටන් විරාසයක් අවශ්‍ය යැයි දිගින් දිගටම අවධාරණය කළ ලෝක නායකයකු ලෙස ප්‍රංශ ජනාධිපති මැක්රොන් සැලකිය හැකිය.

ඊශ්‍රායලය පමණක් නොව, ඇමෙරිකාව සහ යුරෝපා බටහිර රටවල් බොහොමයක් ද හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකයි. 2015 දී ඇමෙරිකාව, සාලේ අල් අරෝරී, ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කරමින්, ඔහු සම්බන්ධයෙන් තොරතුරක් ලබා දෙන අයකුට ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක ත්‍යාගයක් ලබා දෙන බව ඇමෙරිකාව පවසා තිබුණි.

ඉරානයේ දකුණු දෙසින් පිහිටි කෙර්මාන් නගරයේ, ෂහේබ් අල් සාමාන් මුස්ලිම් පල්ලිය අසල බෝම්බ පුපුරා ගියේ, සාලේ අල් අරෝරී, ඝාතනය වී පැය කීපයක් ගත වෙද්දීය.

මීට සිවු වසරකට පෙර, ඇමෙරිකන් ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය, ඉරාන විප්ලවීය හමුදාවේ ජනරාල් කසීම් සුලෙයිමානීගේ ගුණ සැමරුමක්, ෂහේබ් අල් සාමාන් මුස්ලිම් පල්ලිට අයත් භූමියේ සුලෙයිමානීගේ සොහොන් ගැබ අසල පැවැත්වෙමින් තිබුණි. ඊට සහභාගී වී සිටි ඉරාන වැසියන් ගණන දහසකට වැඩිය.

එම බෝම්බ ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් බාරගෙන නැත. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී පවසා ඇත්තේ එම ප්‍රහාරය ට සම්බන්ධ සියලු දෙනාට ‘සුදුසු’ ආකාරයේ දඬුවමක් ලබා දෙන බවය. ඉරාන උත්තරීතර නායකයා වැඩි දුරටත් අවධාරණය කළේ එම බෝම්බ ප්‍රහාර ඉරානයේ සතුරන් විසින් සිදු කරනු ලැබූ ප්‍රහාර බවය.

ඉරානයේ සිදුවුණු බෝම්බ පිපිරීම්වලින් මියගිය සහ තුවාල ලැබූ ඉරාන වැසියන් සම්බන්ධයෙන් සොව පළ කළ ඇමෙරිකාව තරයේ පවසා ඇත්තේ එම බෝම්බ පිපිරීම්වලට ඇමෙරිකාවේ හෝ ඊශ්‍රායලයේ හෝ කිසිදු සම්බන්ධය නැති බවය.

ඉරාන ආරක්ෂක අංශ සැක කරන්නේ සුන්නි මුස්ලිම් අයි.එස්. ත්‍රස්තවාදීන් එම බෝම්බ ප්‍රහාරය සිදු කළ බවය. ඉරානයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නේ සුන්නි මුස්ලිම් අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ය. සුන්නි මුස්ලිම් ත්‍රස්තයන්, පසුගිය වසර ගණනාව පුරා ෂියා මුස්ලිම් පල්ලි ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරුවා තිබේ.

මීට සිවු වසරකට පෙර, 2020 වසරේ දී ඝාතනය වූ ජනරාල් කසීම් සුලෙයිමානී, ඉරාන උත්තරීතර නායකයාට පසු එරට සිටි දෙවැනි බලවත්ම තැනැත්තා විය. සුලෙයිමානී ඉරාන විප්ලවීය හමුදාවට අයත් අතිරේක බලඇණිවලට නායකත්වය දුන්නේය. සුලෙයිමානී ඇමෙරිකන් හමුදාවේ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කෙරුණේ, 2020 ජනවාරි 3 වැනිදා ඔහු ඉරාකයට ගිය අවස්ථාවේදීය. ඇමෙරිකන් හමුදා සුලෙයිමානී ඝාතනය කළේ එවකට ඇමෙරිකානු ජනාධිපති ලෙස කටයුතු කළ ඩොනල්ඞ් ට්‍රම්ප් ලබා දුන් නියෝගයකට අනුවය.

බෝම්බ පිපිරීම්වලින් ඉරාන වැසියන් මියයෑම සම්බන්ධයෙන් ලෝක නායකයෝ බොහෝ දෙනකු සොව පළ කර ඇත. ඒ අතර ඉරානයේ හිතවාදීන් වන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙන්ම චීන ජනාධිපති ෂී ජින්පින් ද සිටිති. ඊශ්‍රායල හමාස් ගැටුම ඔඩුදුවන්නේ නම්, ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය හෝ ඉරානය ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේ නම්, තමන් කොන්දේසි විරහිතව ඉරානයේ සහායට සිටින බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දිගින් දිගටම අවධාරණය කර තිබේ.

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ඔඩුදුවන අර්බුදය, තෙවැනි ලෝක යුද්ධය තෙක් වර්ධනය වුවහොත්, එය න්‍යෂ්ටික යුද්ධයක් වනු ඇති බවත්, ලෝක විනාශයට හේතුව එය වනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ අනතුරු අඟවති.


RECOMMEND POSTS