දරුණු භූමිකම්පාවකින් ඉතාලිය හෙල්ලෙයි



 

 

ෆිලිපෝ මොන්ටේෆෝටිහිදීය (රොයිටර්/ඒ.එෆ්.පී)

මධ්‍යම ඉතාලියට බලපෑ දරුණු භූමිකම්පාවකින් 120 දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූහ. බොහෝ පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බව ද 150කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි ද ඉතාලි බලධාරීහු පැවැසූහ. භූ කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.2ක් ලෙස සටහන් ව ඇති අතර නගරයෙන් අඩක් විනාශ වී ඇතැයි ඇමටි්‍රස් නගරාධිපතිවරයා උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණි. ඇකුමෝලි නගරය ආසන්නයේ නිවසක සිටි එකම පවුලේ සිව්දෙනකු ද භූමිකම්පාවෙන් ජීවතක්ෂයට පත්ව ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉතාලියේ අගනුවර වන රෝමයට කිලෝමීටර 100ක් දුරින් භූමි කම්පාවට හටගෙන ඇති අතර අගනුරව ගොඩනැගිලි තත්පර විස්සකට ආසන්න කාලයක් පුරා කම්පනය වූ (හෙල්ලුණු) බව ද වාර්තා විය. භූ කම්පාවෙන් නගර හා ගම් රැසකට දරුණු හානි සිදු වී ඇතැයි ද ජනාකීර්ණ ප්‍රදේශවලට වැඩි හානියක් සිදුව නැතැයි ද වාර්තා වේ. ඇකුමෝලි, ඇමටි්‍රස්, පෝසටා සහ ආකෝටා ඩෙල් ට්‍රොන්ටෝ යන නගරවලට වැඩි හානියක් සිදුව ඇතැයි ද පැවසේ. දරුණු ලෙස හානි වූ නගරවල රෝහල්වලට ද දරුණු හානි සිදු වී ඇතැයි ද රෝගීන් විදීවලට පිවිස ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

භූ කම්පනය හටගෙන ඇත්තේ අම්බි්‍රයාවේ නෝචාහි යැයි ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. අම්බි්‍රයාව යනු ඉතාලියේ හරිත හදවත යැයි සැලකෙයි. ඉතිහාස හා නූතන වටිනාකමකින් යුතු අම්බි්‍රයාව ඓතිහාසික කලාපයක් ලෙස හඳුන්වන අතර සංචාරකයන් වැඩි පිරිසක් පැමිණෙන කලාපයක් ලෙස ප්‍රකටය. නෝචාවෙන් මරණ කිසිවක් වාර්තා නොවන බව එරට නගරාධිපතිනි නිකොලා ඇලමැනේ කීවාය. ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථානවලට හා ගොඩනැගිලිවලට දරුණු හානි සිදුව නැතැයි ද ඇය එරට රජයේ පුවත් සේවය වන ආර්.ඒ.අයි වෙත පවසා තිබුණි. ප්‍රධාන භූ කම්පනයෙන් පසු පැය හතරක කාලය තුළ දී පසු කම්පන 60කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු වූ බව ඉතාලි භූ කම්පන සමීක්ෂණ ආයතනය සඳහන් කර තිබුණි. ප්‍රබලතම පසු කම්පනය ලෙස රික්ටර් මාපකාංක 5.5ක කම්පනයක් සටහන්ව ඇත. ඉතාලිය පිහිටා ඇත්තේ භූ තැටි දෙකක සීමාවේය. එබැවින් යුරෝපයේ භූ කම්පන අවදානම වැඩිම රටවල් අතරින් එකක් ලෙස ඉතාලිය සැලකෙයි.

අවසාන වරට ඉතාලියට ප්‍රබල භූ කම්පනයක් බලපෑවේ 2009 වසරේදීය. ල‘කිලා වෙත බලපෑ එම භූ කම්පනයෙන් 300කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. විසිවැනි බිහිසුණුම භූ කම්පනය ඇතිවූයේ 1908 වසරේදීය. ඒ සමඟම සුනාමියක් ද ඇතිවිය. එම භූ කම්පනය හා සුනාමිය ඇති වූයේ ද ඉතාලියේය. ඉන් වැඩිම හානියක් වූයේ සිසිලි හා රෙජියේ කැල්බි්‍රයා යන කලාපවලටය. එයින් ජීවිතක්ෂයට පත්වූ පිරිස 80,000කට ආසන්නය.


RECOMMEND POSTS