කාබුල් නුවර ඇමෙරිකන් සරසවියකට ත්‍රස්තයෝ කඩා වැදී 13 දෙනෙකු මරත



 

කාබුල්හිදීය (රොයිටර්)

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඇමෙරිකන් රජයේ අනුග්‍රහයෙන් පවත්වා ගෙන යන විශ්ව විද්‍යාලයකට ත්‍රස්තයන් දෙදෙනකු කඩා වැදී කළ වෙඩි තැබීමෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. වෙඩි ප්‍රහාරවලට ලක් වීමෙන් තුවාල ලැබූ ගණන 35 කි. මියගිය පිරිස අතර සරසවියේ ආරක්ෂක නිලධාරීහු සිවු දෙනෙක් සහ පොලිසියේ අට දෙනෙක් වෙති. සෙසු පිරිස සිසුන් සහ ගුරුවරුන්ය.

ස්වංක්‍රීය ගිනි අවිවලින් සහ අත්බෝම්බවලින් සන්නද්ධ වුණු එම ත්‍රස්තයන් දෙදෙනා ඊයේ (25) කඩා වැදුණේ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවේ සිටි පොලිස් නිලධාරීන්ට සහ විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තබමිනි. විශ්ව විද්‍යාලයට කඩා වැදුණු ත්‍රස්තයෝ සිසුන් සහ ගුරුවරු 750 ක් ප්‍රාණ ඇපයට ගත්හ. ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී විශ්ව විද්‍යාලය වට කළ අවස්ථාවේදී, ත්‍රස්තයන් දෙදෙනා සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදුවිය. පැය 10 ක මෙහෙයුමකින් පසු ත්‍රස්තයන් දෙදෙනා මරා ප්‍රාණ ඇපයේ සිටි පිරිස් බේරා ගැනීමට ඇෆ්ගන් හමුදාව සමත් වූ බව කාබුල් පොලිස්පති අබ්දුල් රහ්මාන් රහීමී පැවැසිය. ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමට නායකත්වය දුන්නේ ඇෆ්ගන් හමුදාවේ විශේෂ කාර්ය බළකාය යැයි ද පැවැසෙයි.

ඔවුන්ට උපදෙස් දී ඇත්තේ ඇමෙරිකන් හමුදා නිලධාරීන් පිරිසකි. මොවුන් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින්නේ ඇෆ්ගන් ආරක්ෂක අංශ පුහුණු කරමිනි. ප්‍රහාරයේ වගකීම කිසිවකු විසින් බාර ගනු ලැබ නැති නමුත් ඇෆ්ගන් රජය පවසන්නේ මෙය ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ ක්‍රියාවක් බවය. ඇෆ්ගන් තලේබාන් සංවිධානයට අයත් ඇතැම් සන්නද්ධ කල්ලි ඉරාකයේ සහ සිරියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සමඟ ද සම්බන්ධකම් පවත්වයි. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණි.

ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද පැවැසෙයි. මෙම ඇමෙරිකන් විශ්ව විද්‍යාලය පිහිටුවූයේ 2005 වසරේදීය. මෙය පෞද්ගලික විශ්ව විද්‍යාලයකි. සිසුහු 1,700 දෙනෙක් අධ්‍යාපනය ලබති. වැඩිහිටියන් වෙනුවෙන් ද උසස් අධ්‍යාපන පාඨමාලා, බාහිර උපාධි පාඨමාලා ක්‍රියාත්මක වෙයි. සාර්ථකව අධ්‍යාපන කටයුතු නිමා කරන්නන්ට රැකියා සොයා දීම ද මෙම විශ්ව විද්‍යාලය මගින් සිදු කරන බව ද පැවැසෙයි.


RECOMMEND POSTS