ඔලිම්පික් උළෙල පසුපස කතාව

සිවු වසරකට වරක් පැවැත්වෙන ඔලිම්පික් උළෙල, මලල ක්‍රීඩා ලොවේ මෞලි මංගල්‍යයයි. මෙය ලොව පුරා සිටින දහස් ගණනක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකට එක්වන දැවැන්ත උත්සවයකි. උත්කෘෂ්ට, දැවැන්ත, තරගකාරීත්වයෙන් පිරුණු ඔලිම්පික් ක්‍රීඩා උළෙල, ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිහින සැබෑ කරන වේදිකාවකි. ඒ සියල්ල ද සමඟ, ඔලිම්පික් උළෙල පසුපස තවත් කතාවකි. ඒ ඔලිම්පික් ගම්මානය කේන්ද්‍රකර ගනිමිනි. ඔලිම්පික් ගම්මානය යනු ක්‍රීඩා උළෙලට නන්දෙසින් සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇතුළු නියෝජිතයන්ට එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කිරීමට සහ සමාජගත වීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. ඔලිම්පික් උළෙලට සමගාමීව, ඔලිම්පික් ගම්මානයේ තිරයෙන් පිටුපස සිදුවන ලිංගික ක්‍රියාකාරකම් ඔලිම්පික් උළෙලට පමණක් සීමා වෙයි. උළෙල අවසානයේ සියලු දෙනා සතුටින් විසිර යන්නේ සියල්ල රහසක් ලෙස තබා ගනිමිනි. මේ දේවල් කටකතාවලට පමණක් සීමා වුවත්, එය ඇත්තෙන්ම ප්‍රසිද්ධ රහසකි. පසුගිය දා ඔලිම්පික් ක්‍රීඩිකාවක වන සුසන් ටයිඩ්ට්කේ කළ අනාවරණයකින් ඒ සියල්ල යළි තහවුරු විය.
සුසන් ටයිඩ්ට්කේ ජර්මනිය නියෝජනය කළ ජර්මන් ජාතික දුර පැනීමේ ක්‍රීඩිකාවකි. මේවනවිට 56 හැවිරිදි ඇය, ඔලිම්පික් ක්‍රීඩා උළෙල දෙකකට සහභාගී වී ඇති අතර, ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී පදක්කම් දිනා ගැනීමට ද සමත් වූ තැනැත්තියකි. ටයිඩ්ට්කේගේ ක්‍රීඩා දිවියේ වැදගත්ම සන්ධිස්ථාන වන්නේ ඇගේ ඔලිම්පික් සහ ලෝක ශූරතා ජයග්‍රහණය. ඇය, 1992 බාර්සිලෝනා ඔලිම්පික් උළෙලට සහ 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලට සහභාගී වූවාය. බාර්සිලෝනා ඔලිම්පික් උළෙලේදී 8 වැනි ස්ථානයට පත්වූ ඇය, සිඩ්නි ඔලිම්පික් උළෙලේදී 5 වැනි ස්ථානයට පත්වෙමින් ඉහළම මට්ටමේ තරගකාරීත්වයක් පෙන්වූවාය. ටයිඩ්ට්කේගේ ක්‍රීඩා ජීවිතය, නොපසුබස්නා උත්සාහය සහ කැපවීම තුළින් ඉහළම ජාත්‍යන්තර මට්ටමට පැමිණි ක්‍රීඩිකාවකගේ සාර්ථක කතාවකි.
ටයිඩ්ට්කේ, ජර්මනියේ බිල්ඩ් වෙබ් පුවත් සඟරාවට පවසා ඇත්තේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ජවයෙන් පිරුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ඔලිම්පික් ගම්මානයේ දී තමන් රිසි කෙනකු සමඟ රිසි ලෙස ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙමින් විනෝදාස්වාදයක් ලබා ගැනීම කිසිසේත් වැළැවිය නොහැකි දෙයක් බවය. එය හුදෙක් ශාරීරික ආකර්ෂණය මත පමණක් පදනම් වූවක් නොවන බව ටයිඩ්ට්කේ කියයි. දැඩි පුහුණුවීම් සහ තරගවලින් පසුව ඇතිවන මානසික පීඩනය, ජයග්‍රහණයේ උද්යෝගය සහ හෝමෝනවල බලපෑම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ට රිසි පරිදි ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට උත්තේජනයක් සපයන බව ඇය හේතු වශයෙන් පවසයි. “ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් උළෙලට පැමිණෙන්නේ ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවයේ උපරිමයෙන්. තරගය අවසන් වූ පසු, ඔවුන්ට ඔවුන්ගේ ශක්තිය මුදා හැරීමට අවශ්‍ය වෙනවා” යැයි ටයිඩ්ට්කේ පැහැදිලි කර ඇත.
ක්‍රීඩිකාවක ලෙස දස්කම් දක්වද්දී, තම පුහුණුකරුවන් තමන්ට උපදෙස් දී ඇත්තේ තරගයකට එසේත් නැතිනම් ක්‍රීඩා ඉසව්වකට පෙර, ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම සුදුසු නැති බවය. හේතුව, ලිංගික එක්වීමකදී ශරීරයෙන් ශක්තිය වැය වීමක් සිදුවන බැවින් සහ එම ශක්තිය නැවත රැස් කර ගැනීමට යම් කාලයක් ගත වන බැවින්ය. තරග ඉසව්වක් අවසානයේ දී කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. රිසි පරිදි, රිසි ආකාරයකට, ලිංගික ආශාවන් සපුරා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවසර හිමිවෙයි. ඔලිම්පික් ගම්මානයේ රැඳී සිටින බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අලුයම වන තුරුම සාද පවත්වමින් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන බව තමන් අත්දැකීමෙන් දන්නා බව ද ටයිඩ්ට්කේ කියයි.
“තරග අවසනායේ ඔපිම්පික් ගම්මානයේ අප අපේ කාමරවලට එනවා. එක් කාමරයක අපි කීප දෙනෙක් ඉන්නවා. අපි හැමවිටම සැලකිලිමත් වෙනවා අපි අපේ කාමරවලට එද්දී, අපේ කාමර සගයන් කවුරුන් හෝ කෙනෙකු සමඟ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙනි. එහෙම සිටිනවා නම්, අප ඒ අයගේ නිදහසට බාධාවක් නොවී, කාමරය ඔවුන්ට දී එතැනින් මාරු වෙලා යනවා. මට මතකයි ඇතැම් දවස්වලට එක දිගට රැය පුරා මත්පැන් සාද පැවැත්වුණා. එහෙම දවස්වලට නිදා ගැනීමත් අසීරුයි” ටයිඩ්ට්කේ, සිය අත්දැකීම් විස්තර කරන්නීය.
ලිංගික සම්බන්ධතා පිළිබඳ විශේෂඥවරියක වන්නේ මනෝචිකිත්සක ටැමී නෙල්සන් ය. ඇය විද්‍යාත්මකව මෙම කාරණාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරයි. ටැමී නෙල්සන් පවසන්නේ මෙය පුදුම විය යුතු කාරණාවක් නොවන බවය. “ජයග්‍රහණයකින් පසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මොළයේ සෙරොටොනින්, ඩොපමයින් සහ ඇඩ්රිනලින් වැනි හෝමෝන අධික ලෙස මුදා හැරීමක් සිද්ධ වෙනවා. සෙරොටොනින් හොමෝන නිකුත් වෙන්නේ සාර්ථකත්වය සමඟ සතුටක් දැනෙද්දී. අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ ඩොපමයින් කියන්නේ සතුටු හෝමෝනයක්. එය සිරුරට ප්රබෝධයක් ඇති කරන හෝමෝනයක්. ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක පදක්කමක් දිනුවා යැයි සිතමු. රන් පදක්කමක් දිනුවා යැයි සිතමු. ඊට වඩා සතුටක් වෙන නැහැනේ. ඉතිං එවැනි තත්වයකදී මොළයට ලැබෙන මේ හෝමෝන ප්‍රමාණය අප සාමාන්‍ය කෙනකුගේ මොළයට ලැබෙන හෝමෝන ප්‍රමාණයට වඩා වැඩියි. හෝමෝන මගින් මානසික ආතතිය අඩු කරනවා; ලිංගික ආශාව තීව්ර කරනවා” යැයි ටැමී නෙල්සන් කියයි.
ඔලිම්පික් ගම්මානයේ රැඳී සිටින්නේ විවිධ රටවල, විවිධ සංස්කෘතීන් නියෝජනය කරන, විවිධ ජාතීන්ගේ ජවයෙන් පිරුණු ක්‍රියාශීලී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය. විවිධ වර්ණවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය. සම්මත හෝ අසම්මත ලිංගික ඇසුර හරහා විවිධාකාරයේ අත්දැකීම් ලබා ගැනීමට ද අවස්ථාව උදාවන බව ඇය වැඩිදුරටත් කියා සිටී.
ඔලිම්පික් ගම්මානයේ සිදුවන ලිංගික ක්‍රියාකාරකම්වල තරම, ක්‍රීඩා බලධාරින් හොඳින් දන්නා දෙයකි. 1980 දශකයේ සිට ඔලිම්පික් උළෙලවලදී කොන්ඩොම් නොමිලේ ලබා දීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත්තේ ද එහෙයිනි. 2016 වසරේ පැවැත්වුණු රියෝ ඔලිම්පික් උළෙලේදී උපත් පාලන කොපු නැත්නම් කොන්ඩොම් 450,000 ක් භාවිතයට ගැණුණු බව පැවැසෙයි. එය එක් ක්රීඩකයකුට කොන්ඩොම් 40 කට වැඩි ප්රමාණයකි.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන්, 2020 වසරේ ටෝකියෝ ඔලිම්පික් උළෙල දැඩි සෞඛ්‍ය නීති රීති යටතේ පැවැත්විණි. සමාජ දුරස්ථභාව සම්බ්නධයෙන් පැනවූ නීති රීති හේතුවෙන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එකිනෙකාට ළං වීමට හැකියාව ලැබුණේ නැත. කෙසේ නමුත් පසුව 2024 දී ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැති ඔලිම්පික් උළෙලේදී, සියල්ල යළි යථා තත්වයට පත් විය.

