ඉරාන පාකිස්තාන ගැටුම



ඉරාන විප්ලවීය හමුදාව, පාකිස්තානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමත්, ඊට ප්‍රතිචාර දකිවමින් පාකිස්තාන හමුදාව ඉරානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර අර්බුදයක් නිර්මාණය විය.

ඉරානයත් පාකිස්තානයත් එක ළඟ පිහිටි රටවල් වන අතර, මායිම් වන්නේ බලුකිස්තාන ප්‍රාන්තයෙනි. බලුකිස්තානය එනමින් හැඳින්වෙන්නේ එය බලුච් වැසියන්ගේ නිජබිම බැවිනි.

ඉරාන විප්ලවීය හමුදාව,ජනවාරි 17 වැනිදා මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේ,පාකිස්තානයට අයත් බලුකිස්තානයේ, ජයිෂ්අල්අඩ්ල්සුන්නි මුස්ලිම් බෙදුම්වාදී සටන්කාමීන්ගේ කඳවුරක්පිහිටිගම්මානයකටය. ඉරාන දේශසීමාවේ, ඉරාන සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ මෙම බෙදුම්වාදීන්ය.

ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයෙන් කුඩා දරුවන් දෙදෙනකු මියගිය බවත්, තවත් දරුවන් තිදෙනකු තුවාල ලැබූ බවත් වාර්තා විය‍.

ඉරානයේ ප්‍රහාරය තරයේ හෙලා දකිමින්, පාකිස්තාන රජය චෝදනා කළේ, ඉරානය පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංඝනය කළ බවය. පාකිස්තාන රජය එරට ඉරාන තානාපති කැඳවා, ප්‍රශ්න කර, ඔහු රටින් නෙරපා දැමුවේය. තම ස්වෛරීත්වය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉරානයට ප්‍රති ප්‍රහාර එල්ල කරන බව ද පාකිස්තානය පැවැසීය.

ප්‍රහාරය එල්ල වෙද්දී, ඉරාන විදේශ අමාත්‍යවරයා හුසේන් අමීර් අබ්දුල්ලහියාන් ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර පැවැත්වෙන, ලෝක ආර්ථික සමුළුවට සහභාගී වෙමින් සිටියේය. සමුුළුව අතරතුරේ ඔහු එම ප්‍රහාරය සම්බන්ධයෙන්, මාධ්‍ය හමුවේ පැහැදිලි කිරීමක් ද කළේය.

ඉරාන හමුදාව පහර දුන්නේ, ජයිෂ්අල්අඩ්ල් බෙදුම්වාදීන්ට බවත්, ඔවුන් ඉරානයේ පමණක් නොව, පාකිස්තානයේ ද සතුරන් බවත්, පාකිස්තාන වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට හෝ පාකිස්තානය අමනාප කර ගැනීමට හෝ කිසිදු හේතුවක් ඉරානයට නොමැති බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ඉරාන ප්‍රහාරයෙන් පැය 24 ක් ගතවීමටත් පෙර, පාකිස්තානය පෙරළා ඉරානයට අයත් සිස්ටන් බලුකිස්තාන ප්‍රාන්තයේ ඉස්ලාමීය බෙදුම්වාදීන් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කළේය. එයින් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු ඉරාන වැසියෝ නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඉරාන විප්ලවීය හමුදාව, පාකිස්තානයට ගුවන් ප්‍රහාරය එල්ල කළේ සිරියාවේත්, ඉරාකයේත් සතුරු ඉලක්ක දෙකක් පහර දී විනාශ කිරීමෙන් පසුවය. ඉරාන හමුදාව පහර දුන්නේ ඉරාකයේ කුර්දිවරුන් වෙසෙන, කුර්දිස්තානයේ පිහිටි ගොඩනැගිල්ලකටය. මෙය ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශ නිලධාරීන්ට අයත් එකක් යැයි ප්‍රහාරයෙන් පසු ඉරාන විප්ලවීය හමුදාව අනාවරණය කළේය.

පාකිස්තානයට අයත් බලුකිස්තානයට ඉරානය මිසයිල සහ ඩ්‍රෝන යානාවලින් පහර දීම, ඉරානයේ එදිරිවාදියකු වන ඇමෙරිකාවේ විරෝධයට හේතුවක් විය. එක් දිනක් තුළ ඉරානය විදේශ රටවල් 3 කට ප්‍රහාර එල්ල කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්විණි.

ඉරානය සිරියාවේත්, ඉරාකයේත් ඉලක්කවලට පහර දුන්නේ, ඊශ්‍රායල හමාස් අර්බුදය මුල්කොට ගනිමිනි. යේමනයේ හවුති සටන්කාමීන්, රතු මුහුදේ නැව්වලට බාධා කරන්නේ ද ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන වැසියන් මියයෑමට විරෝධය දක්වමිනි. හවුති යනු ඉරානයේ සහාය ලබන ෂියා මුස්ලිම් සටන්කාමීන් පිරිසක් වන අතර, ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය හවුති සටන්කාමීන් ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස නම් කරමින් ඔවුන්ට දිගින් දිගටම පහර දෙයි. ඉරානය සිරියාවේත්, ඉරාකයේත් ඉලක්කවලට පහර දුන්නේ, ඊශ්‍රායල හමාස් අර්බුදයත්, හවුති සටන්කාමීන් මුල්කොටගත් අර්බුදයත් ඔඩුදුවද්දීය.

ඉරානය පාකිස්තානයට පහර දීමත්, පාකිස්තානය ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානයට පහර දීමත් සම්බන්ධයෙන් චීනය පවසා ඇත්තේ ප්‍රහාර එල්ල කර ගැනීම වහා නවත්වන ලෙසය. චීනය, පාකිස්තානයේත් ඉරානයේත් මිතුරෙකි.

ත්‍රස්තවාදය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන ඉන්දීය රජය පවසා ඇත්තේ, ඉරානයත් පාකිස්තානයත් අතරේ හටගත් අර්බුදය ඉරානයේත් පාකිස්තානයේත් අර්බුදයක් පමණක් බවය. කෙසේ නමුත් විදේශයකින් ප්‍රහාරයක් එල්ල වුවහොත්, එම ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම ඕනෑම රටකට ඇති අයිතියක් යැයි ද ඉන්දීය රජය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.


RECOMMEND POSTS