ආහාර උද්ධමනය අතින් 6 වැනි තැන



ශ්‍රී ලංකාව ලොව ඉහළම ආහාර උද්ධමනයක් සහිත රටවල් අතර හයවන ස්ථානයට පත්ව ඇතැයි ලෝක බැංකුව පවසයි. ලෝක ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන්, ලෝක බැංකුව මෙම නොවැම්බරයේ නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන් වී ඇත.

එම වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 86 කි. ලොව දරුණුම ආහාර උද්ධමනය සහිත රට ලෙසද වාර්තාවේ ඉහළින් ම ඇත්තේ අප්‍රිකාවට අයත් සිම්බාබ්වේ රාජ්‍යයයි. සිම්බාබ්වේ රාජ්‍යයේ උද්ධමන අගය සියයට 321 ක් බව ලෝක බැංකු වාර්තාවේ දැක්වෙයි. දෙවැනි සහ තෙවැනි ස්ථානවල ඇත්තේ මැදපෙරදිග කලාපීය රාජ්‍යයක් වන ලෙබනනය සහ වෙනිසියුලාවය. ලෙබනනය සහ වෙනිසියුලාවේ ද ආහාර උද්ධමනය සියයට 100 ඉක්මවා ගොස් ඇත. එම අගයන් පිළිවෙළින් සියයට 20 8ක් සහ සියයට 158 කි.

මෙම රටවල් තුනට අමතරව, ශ්‍රී ලංකාවට වඩා වැඩි ආහාර උද්ධමනයක් සහිත රටවල් ලෙස ශ්‍රේණිගත කර ඇත්තේ තුර්කිය සහ ආර්ජන්ටිනාවය. තුර්කියේ ආහාර උද්දමනය 99 ක් බවත් ලතින් ඇමෙරිකා කලාපයට අයත් ආජන්ටිනාවේ ආහාර උද්ධමනය සියයට 84 ක් බවත් ලෝක බැංකු වාර්තාවේ සඳහන් වෙයි. අප ශ්‍රී ලංකාවට පසුව ලැයිස්තුවේ ස්ථානගත වී ඇත්තේ ඉරානයයි.

කෙසේ නමුත්, පසුගිය සැප්තැම්බර් මාසයේ නිකුත් කරන ලද ලෝක බැංකු වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 91 ක් ලෙස දක්වා තිබූ අතර, එහිදී ශ්‍රී ලංකාව ස්ථානගතව තිබුණේ වැඩිම ආහාර උද්ධමනයක් සහිත රටවල් අතර සිව්වන ස්ථානයේය. මේ අනුව, සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා ගතවූ කාලසීමාවේ දී ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 5 කින් අඩුවී ඇති බව ලෝක බැංකු වාර්තාවේ දැක්වෙයි.

බීබීසී වාර්තාවක් ඇසුරිනි

RECOMMEND POSTS