සයිබර් දත්ත හොරු: Hacker

මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට හැකර් ප්‍රහාරයක් එල්ල වීම සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය මහත් ආන්දෝලනයක් ඇති කළේය. ඒ අනුව, හැකරුන් ගැන වෙනදාට වඩා කතාබහක් නිර්මාණය වී ඇත. හැකරුන් ලෙස හැඳින්වෙන්නේ සයිබර් අපරාධකරුවන්ය. අද අප ජීවත් වෙන්නේ පරිගණක, ස්මාර්ට් ජංගම දුරකථන සහ අන්තර්ජාලය වටා ගෙතුණුලෝකයකය. මේ තාක්ෂණික ලෝකය තුළ අපට හැකර් (Hacker) යන වදන නිරන්තරයෙන් අසන්න ලැබේ.
හැකර් යන වදනේ උපත සිදුවූයේ 1960 දශකයේ දී ඇමෙරිකාවේ එම්.අයි.ටී. (MIT - Massachusetts Institute of Technology) විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අතරිනි. ඒ කාලයේ පරිගණක අද මෙන් කුඩා නොවිණි. කාමරයක් තරම් විශාල විය. එම විශ්වවිද්‍යාලයේ සිටි දක්ෂ සිසුහු පිරිසක්, මේ විශාල පරිගණකවල වැඩසටහන් (Programs) වඩාත් වේගවත් කිරීමට සහ ඒවායේ ඇති අඩුපාඩු අලුතින්ම සකස් කිරීමට කටයුතු කළහ. එකල ඔවුන් හැක් කිරීම (Hacking) ලෙස හැඳින්වූයේ ඉතා දක්ෂ ලෙස, කෙටි ක්‍රමයකින් පරිගණක වැඩසටහනක ගැටලුවක් විසඳීමය. මුල් කාලයේ හැකර් කෙනෙක් වීම හඳුන්වනු ලැබුවේ ඉතා ඉහළ දක්ෂතාවයක් සහ නිර්මාණශීලී බවක් ලෙසය.
ඒත් අද වනවිට හැකර් කෙනෙක් යනු පරිගණක පද්ධති, ජාල සහ මෘදුකාංග ක්‍රියා කරන ආකාරය ඉතා ගැඹුරින් අධ්‍යයනය කරන, ඒ ගැන උපරිම දැනුමක් ඇති අයකු පමණක් නොව, ඕනෑම සංකීර්ණ පරිගණක පද්ධතියක ඇති ගැටලු සොයා ගැනීමට සහ ඒවායේ ක්‍රියාකාරීත්වය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට හැකියාව සහ දැනුම ඇති කෙනෙකි. මේ දැනුම හොඳට හෝ නරකට භාවිතා කළ හැකිය. හැකරුන් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි. ඒ, ධවල තොප්පි හැකරුන් (White Hat Hackers) සහ කළු තොප්පි හැකරුන් (Black Hat Hackers) ය. ධවල තොප්පි හැකරුන් මොවුන් ‘හොඳ’ හැකර්වරුන් ලෙස හැඳින්විය හැකියි.
ඔවුන් තම දැනුම යොදවන්නේ පරිගණක පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීමටය. බැංකු, රජයේ ආයතන සහ විශාල සමාගම්වල දත්ත ආරක්ෂා කරන්නේ මොවුන් විසිනි. කළු තොප්පි හැකර්වරුන් තම හැකියාව යොදවන්නේ අනිසි දේ සඳහාය. ඔවුන් ඔවුන්ගේ දැනුම සහ හැකියාව අවභාවිත කරයි. පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වීම, තොරතුරු සොරා ගැනීම හෝ පද්ධති විනාශ කිරීම ඔවුන්ගේ කාර්යයයි. නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ අය ලෙස නැතිනම් සයිබර් අපරාධකරුවන් ලෙස සැලකෙන්නේ මොවුන්ය.
ප්‍රධාන හැකරුන් වර්ග දෙකට අමතරව, තවත් හැකරුන් වර්ගයක් සිටී. ඒ, අළු තොප්පි හැකරුන් (Grey Hat Hackers) ය. මොවුන් නීති විරෝධී වැඩ කරන අය නොවුණත්, නීති විරෝධී වැඩ කරයි. එයින් අදහස් වන්නේ, අළු තොප්පි හැකරුන් අවසරයකින් තොරව (හොරෙන්) පද්ධතිවලට ඇතුළු වී එහි අඩුපාඩු සොයා බැලීම කරයි. ඒත් පසුව ඔවුන් එම ආයතනවලට ඒ ගැන දැනුම් දෙයි. ‘ඔබේ පද්ධතියේ අහවල් දෝෂය තිබෙනවා. එය වහා නිවැරදි කරගන්න’ ආදී වශයෙන් ඔවුන් උපදෙස් දෙයි.
හැකරුන්ගේ ආයුධ වන්නේ ඔවුන්ගේ මොළය, දැනුම, හැකියාව සහ කේත (Codes) ය. පරිගණක භාෂා එසේත් නැතිනම් කොම්පියුටර් ප්‍රෝග්‍රැමින් ලැන්ග්වේජස් (Programming Languages) උදාහරණ ලෙස පයිතන් Python, සී ප්ලස් ප්ලස් C++ සහ ජාවා Java වැනි පරිගණක භාෂා ඔවුන්ගේ මෙවලම්ය. මේ භාෂා වලින් ඔවුන් පරිගණකයට විධාන ලබා දීම සිදු කරයි.

