සමාජ මාධ්‍ය හරහා කන්දක් වුණු පැල්ට්රි

මවුන්ට් පැල්ට්රි යනු අන්තර්ජාලය හරහා එසේත් නැතිනම් සමාජ මාධ්‍ය හරහා අතිශය ජනප්‍රිය වූ කන්දකි. ලැබූ ජනප්‍රියත්වය නිසාම මෙය මේ වනවිට ලොව කුඩාම කන්ද ලෙස ද හැඳින්වෙයි. ඉංග්‍රීසියෙන් ‘මවුන්ට්’ යනු කන්ද යන අර්ථයයි. ‘පැල්ට්රි’ යනු වැදගත් නැති දේ යන අර්ථයයි. නිල භූගෝලීය පිළිගැනීමක් ලැබී නැතත්, මවුන්ට් පැල්ට්රි සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වී කන්දක් බවට පත් වී අවසන්ය. මෙහි උස සෙන්ටි මීටර් 7 කි.
භූගෝලීය දත්තයන්ට අනුව ඕස්ට්‍රේලියාවේ නිල වශයෙන් පිළිගත් කුඩාම කන්ද ලෙස සැලකෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි මවුන්ට් වයිචෙපෲෆ් ය. එහි උස මීටර් 43 කි. එබැවින් මවුන්ට් පැල්ට්රි යනු විද්‍යාත්මක සාධක මත පදනම් වූවකට වඩා, සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩනැගුණු හාස්‍යජනක සහ කුතුහලය දනවන සංසිද්ධියකි.
කන්දක් යනු අවට භූමියට වඩා සැලකිය යුතු උසකින් ඉහළට විහිදුණු, බෑවුම් සහිත ස්වාභාවික භූමියකි. විද්‍යාත්මකව මෙය නිර්වචනය කිරීමේදී කරුණු කිහිපයක් සැලකිල්ලට ගනු ලැබේ.
භූ විද්‍යාඥයන්ට අනුව, කන්දක් යනු පෘථිවි පෘෂ්ඨයේ ඇති වන විශාල නෙරුමකි. මෙය බොහෝ විට නිර්මාණය වන්නේ භූ තැටි චලනය නිසාය. පෘථිවි තැටි එකිනෙක ගැටීමෙන් හෝ එකක් මත එකක් තෙරපීමෙන් භූමිය ඉහළට එසවීම සිදු වේ. භූගෝල විද්‍යාත්මකව සහ විද්‍යාත්මකව යම් භූමි ස්වරූපයක් කන්දක් (Mountain) ලෙස හැඳින්වීමට නම් සපුරාලිය යුතු ප්‍රධාන සුදුසුකම් කිහිපයක් තිබේ. කන්දක් සහ කඳුගැටයක් (Hill) අතර වෙනස තීරණය වන්නේද මෙම සාධක මතය. කන්දක් ලෙස හැඳින්වීමට තිබිය යුතු ප්‍රධානතම සුදුසුකම වන්නේ එහි උසය.
සාමාන්‍යයෙන් අවට භූමියේ සිට අවම වශයෙන් මීටර් 600ක් (අඩි 2,000ක්) පමණ උසින් යුත් භූමි ඒකක කඳු ලෙස සැලකෙයි. මීට වඩා අඩු උසකින් යුත් නෙරුම් කඳුගැට (Hills) ලෙස හැඳින් වෙයි. කන්දකට තියුණු හෝ පැහැදිලි බෑවුම් තිබිය යුතුය. තැන්නක සිට ඉහළට විහිදෙන විට එහි බෑවුම මැනවින් දර්ශනය විය යුතුය. තැනිතලා උස්බිම් (Plateaus) උසින් වැඩි වුවත්, ඒවාට බෑවුම් සහිත මුදුනක් නොමැති බැවින් ඒවා කඳු ලෙස හඳුන්වන්නේ නැත. ඊට අමතරව, කන්දකට කුඩා ප්‍රදේශයකට සීමා වූ මුදුනක් හෝ ශිඛරයක් තිබිය යුතුය.
හසිනි නවෝද්‍යා

