සඳ වටා ගිය පොඩ්ඩගේ නිර්මාණය



ආටිමිස් 2 සඳ ගමන වෙනුවෙන් නිල චන්ද්‍ර සුරතලකු Moon Mascot නිර්මාණය කර දෙන්නැයි ඇමෙරිකාවේ නාසා ආයතනය, ආටිමිස් 2 මෙහෙයුමට පෙර නිර්මාණ තරගයක් පැවැත්වීය.

රටවල් 50 කින් නිර්මාණ 2,600 කට වැඩි ගණනක් ලැබුණි. ඒ අතරින් ජයග්‍රාහකයා වූයේ කැලිෆෝනියාවේ 8 හැවිරිදි පුංචි පුතා ලූකස් යී (Lucas Ye) ය. ආටිමිස් 2 කණ්ඩායම සඳට රැගෙන ගොස් ආපසු ගෙනාවේ ඒ නිල චන්ද්‍ර සුරතලාය. මේ සුරතල් සෙල්ලම් බඩුව රයිස් Rise ලෙස නම් කෙරුණි.

​රයිස් Rise කියන නම මෙම සෙල්ලම් බඩුවට යෙදුණේ 1968 දී නාසා ඇපලෝ 8 මෙහෙයුමේදී ලබාගත් සුප්‍රසිද්ධ "Earthrise" (හඳේ ක්ෂිතිජයෙන් පෘථිවිය උදාවීම) ඡායාරූපය සිහිපත් කිරීමටය. මෙම සෙල්ලම් බඩුව සඳුගේ මුහුණය. එය ලොකු හිසක් වැනිය. එය තොප්පියක් පැලඳ සිටී. එය පෘථිවිය නිරූපණය කරයි. එම තොප්පියේ සඳ මත ඇති ගගනගාමී පියසටහන් සහ  රොකට්ටුවේ රූපද ඇතුළත් වෙයි.

තවත් විශේෂ දෙයක් ද විය. මේ පුංචි සෙල්ලම් බඩුව ඇතුළත SD පතක් (SD Card) අඩංගු විය. එහි නාසා ආයතනය වෙත තම නම් ලබාදුන් ලොව පුරා විසිරී සිටින මිලියන 5.6ක ජනතාවගේ නම් ඇතුළත් කර තිබුණි.

​මෙම සෙල්ලම් බඩුව Zero-G Indicator එකක් ලෙස ක්‍රියා කරයි. එය ආටිමිස් 2 ගගනගාමීන්ට ප්‍රයෝජනවත් විය. යානය පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදී බර රහිත වූ සැණින් Rise සෙල්ලම් බඩුව පාවෙන්නට පටන් ගන්නා අතර, එමඟින් ගගනගාමීන්ට සහ පාලක මැදිරියට යානය අභ්‍යවකාශයට පිවිසි බව තහවුරු විය.

මේ අතර, ආටිමිස් 2 මෙහෙයුමට සම්බන්ධ ගගනගාමීන් ආපසු පැමිණෙන වික්‍රමය දැක බලා ගැනීමට නාසා ආයතනය, කැලිෆෝනියාවේ සිලිකන් වැලි පිහිටි නාසා ඒම්ස් පර්යේෂණ මධ්‍යස්ථානයට පැමිණෙන්නැයි ඇරැයුම් කර තිබුණු පිරිසට ලූකස් යී සහ ඔහුගේ පවුලේ අය ද ඇතුළත් වූහ.  


RECOMMEND POSTS