සංචාරක ලෝකයට සුරපුරකි සිරිලක



 

“සංචාරයේ යෙදීම යනු ජීවත්වීමයි”
හන්ස් ක්‍රිස්ටියාන් ඇන්ඩර්සන් (1805-1875) 
ඩෙන්මාර්ක ජාතික සුරංගනා කථාකරු 
“ලෝකය පොතකි. සංචාරයේ නොයෙදෙන අය කියවන්නේ ඒ පොතේ පිටුවක් පමණි.”
හිපෝහි ශාන්ත ඔගස්ටීන් (354-430)


සංචාරයේ අගය දුටු මහා ශාස්තෘවරයානෝ බුදු හිමියෝයි. සිය සංඝ සංවිධානයේ මුල් අවධියේදීම, සම්බුදු රජාණන් වහන්සේ, එදා සිටි භික්ෂූන් වහන්සේලාට මෙසේ නියම කළ සේක. “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය” 


“මහණෙනි බොහෝ දෙනාගේ හිත පිණිස බහුතරයකගේ සුව පිණිස සංචාරයේ යෙදෙන්න” 


අද ලොව බොහෝ දෙනා සංචාරයේ යෙදෙන්නේ ප්‍රධාන වශයෙන්ම තමන්ගේ හිත සුව පිණිසයි. එහෙත් සංචාරයට පාත්‍රවන ප්‍රදේශවල ජනී ජනයාටත් සංචාරකයා මඟින් උසස් ආධ්‍යාත්මික ප්‍රතිලාභයක් අත්පත්වන බව බුදුහිමියන් වහන්සේ උගන්වා වදාළ සේක. 


ජගත් මට්ටමේ සංචාරක ව්‍යාපාර සලකා බලන කල්හි ශ්‍රී ලංකාව අත්‍යන්තයෙන්ම වාසනාවන්ත දේශයකි. 


ලොව අන් කිසිම දේශයක් විසින් නොලද ආකාරයේ ජයග්‍රහණ, ශ්‍රී ලංකාවේ සංචාරක ඉතිහාසයෙහි ඇතුළු වේ. 
ජීවමාන බුදු හිමියන් තෙවරක්ම සංචාරය සඳහා සපැමිණි භාග්‍ය සම්පන්න දේශය මෙයයි. බුද්ධත්ව ලාභයෙන් තෙමසකට පසුව බුදු හිමියෝ ශ්‍රී ලංකාවට වැඩි සේක. පසු කලක මහියංගණ ස්ථූපය පිහිටන පෙදෙසෙහි එදා යක්ෂ සේනා සම්මේලනයක් සඳහා එක්රැස් වූහ. බුදු හිමියෝ ඔවුන් දමනය කළහ. 


බුදු හිමියන්ගේ දෙවන ආගමනය සිදුවූයේ එතුමන් බුද්ධත්වය ලබා පස්වන වර්ෂයේදීය. ඒ සමයේදී බුදු හිමියන්ට පෙණුනේ ශ්‍රී ලංකාවේ මහෝදර සහ චූලෝදර නම් නායකයන් දෙදෙනා මණි සිහසුනක් උදෙසා ආරවුලක පැටලී සිටින ආකාරයයි. මහෝදර සහ චූලෝදර දෙදෙනා මාමාත් බෑණාත් වූහ. එහෙත් සටනක් සිදුවුවහොත් හටගත හැකි විනාශය සාම මාර්ගයෙන් නිරාකරණය කොට බුදු හිමියෝ පෙරළා ජේතවනාරාමයට වැඩම කළහ.


තෙවන වර බුදු හිමියන් ලක්දිවට වැඩම කළේ බුද්ධත්වලාභයෙන් අටවැනි වසරේදීය. එවර (කැලණි) කල්‍යාණි ජනපදයට එළඹී බුදු හිමියන්ට මණිඅක්ඛිත නම් පාලකයාගේ ගෞරව උපහාර පිදුනේය. බුදු හිමියන් සමනොළ මුදුනේ සිය ශ්‍රී පා සටහන් තබන ලද්දේත් ඒ තෙවන සංචාරයේදී යැයි ඉතිහාසයේ පැවසේ. 


“වාල්මිකී” ඍෂිවරයා විසින් නිර්මිත “රාමායන” මහා කාව්‍යයෙහි ද ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රයේ විස්මය දනවන පක්ෂයක් සනිටුහන් වන්නේය. මෙය ඓතිහාසික සත්‍යක් ද නොඑසේනම් එය මනඃකල්පිතයක් දැයි නොසිතා එහි විචිත්‍ර අන්තර්ගතය දෙසට යොමු වෙමු. 


එහි පැවසෙන ආකාරයට ආදි යුගයේ දී ශ්‍රී ලංකාධිපතිව සිටියේ රාවණ රජුයි. “රාමායනයෙහි” පැවසෙන පරිදි ඔහු දඹදිවට ගොස් සිය “පුෂ්පක” නම් ගුවන් යානයෙන් රාම කුමරුගේ භාර්යාව වන සීතාව ශ්‍රී ලංකාවට ගෙන ආයේය. 
මඳක් හාස්‍යයට නැඹුරුව මේ සිද්ධිය විග්‍රහ කරමින් අපට කියා සිටිය හැකි වන්නේ ජාත්‍යන්තර මට්ටමෙන් මගීන් ගෙන යන ගුවන් සේවයක් ලෝකයේ මුලින්ම පැවැත්වූයේ ශ්‍රී ලංකාව විසින් බවයි. එහෙත් මෙහි අවඥාව නම් මගියා ගෙන එන ලද්දේ මගියාගේ බලවත් අකැමැත්තෙන් වීමයි. 


ඒ නිර්මාණාත්මක සිද්ධියෙන් මෑත්වී අපි ශ්‍රී ලංකා සංචාරක ඉතිහාසයේ යථා තත්ත්වය දෙසට එළඹෙමු. ඉතා ඈත අතීතයේ පටන් ශ්‍රී ලංකාව සංචාරක අවධානය ඉතා තියුණු ලෙස ලද්දේය. මෙයට අවුරුදු 3025කට පමණ පෙර ඊශ්‍රායලයේ රාජ පදප්‍රාප්තව සිටි සොලමන් නම් ප්‍රවීණ පාලකයා ශ්‍රී ලංකාවේ ටාර්සීස් නම් තොටුපොළෙන් මුතු මැණික්, කුළුබඩු වර්ග, මොණරුන් හා ඇතුන් ද ගෙන්වා ගත්තේ යැයි ජනප්‍රවාදයේ සඳහන් වේ. ඒ අති බුද්ධිමත් පාලකයා ෂීබා නම් සිය බිසොවගේ මාලය සඳහා නිල් මිණක් ලද්දෙත් ශ්‍රී ලංකාවෙන් යැයි ඇතැම්හු කියති. “මාර්සීස්” යන ගාලු වරායේ ඉපැරණි නම වූයේ යැයි ද මතයක් ඇත්තේය.


එයින් ඔබ්බේ නියම ඓතිහාසික සිද්ධි දෙසට අවධානය යොමුකොට බලමු. 


මානව ඉතිහාසයෙහි සුවිශේෂී නමක් දිනා සිටින කීර්තිධර සංචාරකයෙක් නම් ඉතාලියේ වෙනිස්හි උපත ලද මාකෝ පෝලෝය. ඔහු ගොඩබිමින්ම ප්‍රධාන වශයෙන් පයින්ම වෙනිසියේ සිට කැතේ (චීන) දේශයට ගියේ යැයි තහවුරුව ලියැවී ඇත්තේය. 


චීන අධිරාජ්‍යයාගේ සිත දිනාගත් මාකෝ පෝලෝ චීනයේ ප්‍රාදේශික පාලක පදවියකින් ද පිදුම් ලද්දේය. 


මාකෝ පෝලෝ ශ්‍රී ලංකාවටත් ආයේය. ඒ බව ඔහු සිය චාරිකා සටහනෙහි ලියන්නේය. 


ඒ කාලයේ සිරිලක පාලනය කළ රජු බැහැදකින්නට ගිය විට ඒ රජතුමා විසින් තමාට අල්ලක් තරම් වූ රත්මිණක් පෙන්වූ බව ද මාකෝ පෝලෝ ප්‍රකාශ කරන්නේය. ක්‍රිස්තු වර්ෂ 1254දී උපත ලැබ 1324දී අභාවයට පත් මාකෝ පෝලෝ සංචාරකයා මේ දේශයේ විභූතියෙන් විස්මිත වූවෙකි. 


මොරොක්කෝ ජාතික විද්වතෙකු වූ ඉබන් බතූතා දේශාඨකයෙකු වශයෙන් ජගත් කීර්තිමත්ය. ඔහු ද ශ්‍රී ලංකාවට ආයේය. සිරිපා නැග්ගේය. (ඔහුගේ උපත 1304 - විපත 1369)


මෑත යුගයේදී ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදුණු බොහෝ විද්වත්තු මේ දේශයට උපහාරාත්මක වූහ. 


මහා රුසියානු ලේඛක ඇන්ටන් චෙකෝෆ් (1860-1904) ශ්‍රී ලංකාවට පමණක් නොව මෙහි හඳපානටත් පෙම් කළේය. 


නොබෙල් සාහිත්‍ය ත්‍යාග ලාභී චිලේ ජාතික පැබ්ලෝ නෙරූඩා පාලන තන්ත්‍රවේදියෙකි. ප්‍රබුද්ධ සාහිත්‍ය ධරයෙකි. ඔහු සිරිලකට සැලකුවේ දිවි දෙවන කොටයි. 


විශිෂ්ට ඇමෙරිකානු ලේඛක මාර්ක් ඞ්වේන් නියම නම සැමුවල් ලැගෝර්ස් ක්ලමන්ස් (1838-1910) ශ්‍රී ලංකාවට ප්‍රශංසා පූර්වකව ලියා ලූ චාරිකා සටහන කා විසිනුත් අගය කළ යුත්තකි. 


ලොව පුරා විවාදයට තුඩු දුන් නිර්මාණාත්මක කෘති ලියා ලූ බි්‍රතාන්‍ය ජාතික ඩී.එච්. ලෝරන්ස් (1855-1930) ශ්‍රී ලංකාවෙන් නව ආභාෂයක් ලද්දෙකි. 


මහා කවි ෂේක්ස්පියර් හා සමතැන් ගත්තෙක්මයි කියන්නට පවා සැරසී සිටි ජෝජ් බර්නාඞ් ෂෝ (1856-1950) විද්වතා නොබෙල් සාහිත්‍ය ලාභියෙකි. ඔහු ශ්‍රී ලංකාව ගැන කියා සිටියේ මේ දිවයින මානව වර්ගයාගේ තොටිල්ල යැයි කියාය. එවැනි ප්‍රකාශයක් කරන්නට ඔහු යොමු වූයේ ශ්‍රී ලාංකිකයන්ගේ මුහුණුවර සතු විවිධත්වයයි. 


මේ ලිපියෙහි මුඛ්‍යාධ්‍යාශය අපගේ සුවිශිෂ්ට දේශයට දිගු කලක් මුළුල්ලේ ලැබුණු සංචාරක ප්‍රශස්ති සංග්‍රහ කිරීම නොවේ. මෙහි එයටත් වඩා ප්‍රායෝගික අරමුණක් වෙයි. 


අද අප විසින් මැදහත්ව පැවසිය යුත්තක් වේ. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වඩාත් උත්තේජනීය මට්ටමකට නංවා ඒ මඟින් ලද හැකි පෘථුල ලෞකික ලාභ ලෝභ ප්‍රමාණය ඉහළ නංවන්නටත් එහි අතුරු පලයක් හැටියට ශ්‍රී ලංකාවේ ජනතාව තුළ නව ජාතික අභිමානයක් උදා කරන්නටත් අද පාලක පක්ෂය නිසැකවම කැප වී සිටින බව අපි තුටු පෙරටුව දකිමු. 


අප විසින් මෙතෙක් නිසි සේ පාදා නොගන්නා ලද සංචාරක ඉල්ලම මහා අස්වැන්නක් ලද හැකි නිධානයක් බවට පරිවර්තනය කොට ගන්නට වගකිව යුතු පක්ෂය සැදී පැහැදී සිටීම මේ රටේ කාගේත් භාග්‍යයකි.


 ශ්‍රී ලංකා සංචාරක ක්‍ෂේත්‍රය සතු වාසනා මහිමය හරි හැටි උදාකොට ගත් විට අපගේ විද්‍යායතනවලින් බැහැර වෙන යොවුන් පිරිසට ඉසුරුමත් වෘත්තීන් පද්ධතියක් පහළ වේ. 


අප ඒ පිළිබඳව ප්‍රායෝගිකව දැඩි ඒකාග්‍රතාවයකින් යොමු වන්නට නම් අද ලොව සංචාරක ව්‍යාපාරයේ උල්පත් අපගේ මේ උදාර දේශයට හරවා ගත හැකි මං අප්‍රමාදව සෙවිය යුතු වේ. 


අප විසින් නොපමාවම කළ යුත්තක් නම්, අතීත යුගයන්හිදී අද පවත්නා අති දියුණු සන්නිවේදන තාක්ෂණික ප්‍රාතිහාර්යයෙන් බිඳක්වත් නොතිබුණු සමයකදී මේ දිවයින සංචාරක ආකර්ෂණයක් බවට පත්වූයේ කෙසේද? 
ඒ පර්යේෂණය මඟින් අපට නව තාක්ෂණය උපරිම මට්ටමෙන් භාවිත කොට ගෙන සංචාරක ස්වර්ණ යුගයක් ගෙන්වා ගත හැකි වේ. 


එදා පැරණි ලෝකයේ මහාරාජ්‍ය ඉන්දියාව හා චීනය අපගේ දිවයින දෙසට තියුණු ලෙස ඇස් යොමු කළහ. 


ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයා තමන්ගේ ඉතාම කිට්ටු නෑයෝ මෙහි එවූහ. සිය පුතා සහ දුව සිය මුණුපුරා සහ බෑණා අශෝක අධිරාජයා විසින් අසහාය තුටු පඬුරු සහිතව මෙහි එවන ලදී. 


මහා චීනය දෙස සිත් යොමු කරමු. 


අප බොහෝ දෙනා දන්නේ චීන වන්දනාකාර භික්ෂූන් වහන්සේ වන පාහියන් හිමිපාණන් ක්‍රිස්තු වර්ෂ 404දී බුදු සමය හදාරනු වස් මෙහි එළඹීමේ ප්‍රවෘත්තියයි. එහෙත් ඈත අතීතයේ පටන් චීන සංචාරකයෝ මෙහි බහුල වශයෙන් පැමිණියහ. 


ඒ පැරණි චීන සංචාරකයන් එදා මෙහි ආයේ අපගේ ස්වාභාවික ශ්‍රී විභූතිය ආස්වාදය කරනු පිණිසත්, අපගේ වටිනා වස්තු ලබා ගන්නා පිණිසත් ආගමික භක්තිය සනසා ගනු පිණිසත් මේ දේශය සතු ළගන්නා ආකර්ෂණීය, චමත්කාරය උකහා ගනු පිණිසත්ය. 


චීන දේශාටකයන්ගේ ශ්‍රී ලංකා සංචාර ඉතා බහුලව සිදුවිණි. “සම්පාන්” සාගර යානා භාවිත කොට ඔවුන් කැමැති තොටුපොළට එන්නට ඒ අය හුරු වූ නිසා වරාය ද “හම්බන්තොට” වූයේය. 


තිස්සමහාරාම විහාරාධිපති ගරු දේවාලේගම ධම්මසේන නාහිමියන් නොබෝදා මා සමග පැවසූවේ ඒ මහවෙහෙරට නුදුරුව පමුතංගල නම් තොටුපොළෙහි ඉපැරණි ගල් පුවරුවක් තිබෙන බවත් එහි “නැංගුරමක” රූපය කොටා තිබෙන බවත්ය. 


මේ ගල් පුවරුව තරමක් ඈත මූදට පෙනෙන පරිදි යාත්‍රිකයන්ගේ ප්‍රයෝජනය පිණිස උස්ව පිහිටුවා තිබෙන්නට ඇත. වරක් මින් යූ ආන් නම් ඉතා ඉසුරුමත් චීන සංචාරකයෙක් දළදා සමිඳුන් වැඳ පුදා ගන්නට පැමිණියේය. දවසක් පුරා දළදා පූජාවේ යෙදුණු ඒ ධනවත් සංචාරකයා රජු බැහැදැක්කේය. ඔහු රජතුමාගෙන් ඉල්ලීමක් කළේය. ‘ගරු නිරිඳුනි, ඔබ කැමති ඕනෑම මිලක් අයකොට ගෙන මට දළදා හිමියන් දෙන්න’. රජු සිනාමුසුව කීයේ කිසිම කිසි මිලකට දළදා හිමිඳුන් දිය නොහෙන බවයි. 


(අද යුගය ගැනත් මින් අප තුළ අදහස් ඇතිවේද?)
එහෙත් ප්‍රධාන ප්‍රස්තුතය මෙයයි.
 
ආධ්‍යාත්මික ගවේෂණය තාමත් බොහෝ විදේශික සංචාරකයන්ගේ මූලික අධ්‍යාශයයි. අද ලොව ඉතාමත් ධනවත් සංචාරකයන්ගෙන් බහුතරයක් චීන ජාතිකයෝයි. ඔවුන් සිය ඉසුරුමත් බව යොදවමින් ලොව සැරිසරති. මේ නව සංචාරක පෙලන්තියට නිසි සේ සංග්‍රහ කළ හැකි වනු පිණිස “මැන්ඩරින්” චීන බස උගෙන ගන්නැයි ප්‍රදේශයේ ඇතැම් උසස් භෝජනාගාර හිමියන් සිය ඉහළ පෙළේ නිලධාරීන්ට කියා තිබෙන බව සැළවේ. 


අද අප විසින් ඉතා වගකීමෙන් කළ යුත්තක් නම්, නවීන සංචාරකයන්ගේ චාරිකා අභිමතාර්ථ නිසි සේ පර්යේෂණය කොට අවබෝධ කොට ගැනීමය. 


සංචාරකයන්ගේ නවීනතම අභිලාෂ වර්ගීකරණය කොට බලමු. 


● නව අත්දැකීමක් ලබා ගැනීම තමන් සංචාරයේ යෙදෙන ප්‍රදේශය වෙන අන් තැනකින් නොලද හැකි දර්ශන, සිද්ධි, ස්ථාන, චාරිත්‍ර වාරිත්‍ර ආදිය සහිත විය යුතුය. 


● පාරිසරික අගයන් ලබාදෙන සංචාරයක් අවශ්‍යය. වන ගහණ, තැනිතලා, වගා බිම් වර්ග, ස්වභාව සිද්ධි, ඇළ-දොළ -දිය රැළි ආදිය.


● නුපුරුදු ශාක වර්ග හා ජීව වර්ග දැක බලා ගැනීමට සංචාරයෙන් ඉඩ ලැබිය යුතු වේ. 
පක්ෂීන්, මත්ස්‍ය වර්ග, දුර්ලභ ගහ කොළ ආදිය ශ්‍රී ලංකාවේ නම් තේ වතු ආදිය. 


● විනෝද ක්‍රීඩා - රළ පැදීම, කඳු නැගීම, සයිකල් සවාරි. 


● මේ රටට පමණක් සීමිත සංස්කෘතික ක්‍රියාදාම-බලි තොවිල්, යාතුකර්ම, වෙස් මුහුණු, ජන නැටුම්.


● දියුණු සංස්කෘතික අවස්ථා ද - චිත්‍ර මූර්ති ප්‍රදර්ශන, දුර්ලභ හස්ත කර්මාන්තාදිය දැක්වේ. 


● ජනී ජනයාගේ දිවි පෙවෙත - ගොවීන්ගේ ජීවන රටාව, අත්කම් කරන අයගේ වෘත්තීය ජීවිතය. 


● මැණික් ආශ්‍රිත අත්දැකීම් 


● ආධ්‍යාත්මික සංචාර (භාවනා ආදිය විවේක නිකේතන) 


● අපූරු ආහාර වර්ග


● ගම්මානයක ජීවිතය අත්දැකීමේ සංචාර


මේ ඉහත දැක්වූයේ නවීන සංචාරකයෙකු විසින් විශේෂයෙන් බලාපොරොත්තු වන දේවල්ය. මේ සියල්ල එක තැනක ඒකාබද්ධ කරන දේශ අතුරින් ශ්‍රී ලංකාව අසාමාන්‍යය. එසේම, වන ජීවීන් දැකීම සඳහා සංවිධානාත්මක සංචාරක ක්‍රියාවලීන් අත්‍යවශ්‍යය. ඕස්ටේ්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු වන සිරි ඉපලවත්ත ලේඛක - දෘශ්‍ය විශේෂඥවරයා විසින් සිය ඕස්ටේ්‍රලියානු සගයෙකු හා එක්ව ශ්‍රී ලංකාවේ අසහාය අගයයන් පිළිබඳව ඡායාරූප හා ගද්‍ය විවරණ සහිතව සපයන ලද ග්‍රන්ථයක් මට නොබෝදා ලැබුණේය. මෙවැනි විශේෂිත පරිසරයක් ආශ්‍රිතව හැඩ ගැසී ශ්‍රී ලංකාව දෙස බලන සංචාරකයා උදෙසා මෙවැනි වගකිව යුතු ග්‍රන්ථ පද්ධති රාජ්‍ය අනුග්‍රහයෙන් වුවද පළ කිරීම අපගේ සංචාරක ව්‍යාපාරයේ නව ස්වර්ණ යුගයක් සඳහා අත්‍යවශ්‍යය. 


ඊටත් වඩා වටිනා ශික්ෂණයක් ජාතික මට්ටමෙන් හැඩගස්සා ගත යුතු වේ. 


අපගේ දේශයේ විවිධ මට්ටමේ විභූතීන් දෙසට විදේශික සංචාරකයෝ ආකර්ෂණය වෙති. ඊට පෙර ඉතා ප්‍රබල වෙනසක් දේශීය ජන සමාජය තුළ “විප්ලවීයාකාරයෝ” පහළ විය යුතුය. 


අපගේ නව පරපුර දේශජ “නිධාන” කෙරේ ඇල්ම දක්වන රසාස්වාදක කණ්ඩායම් බවට ආයාසයෙන් හෝ පත් කළ යුතු වේ. 


කඳු මුඳුනක පිහිටි අපගේ වෙහෙර විහාරවල ආකර්ෂණීයත්වය අපගේ දරුවන්ට අමුතුවෙන් උගැන්විය යුතුවේ. ඔවුන් දේශීය සංචාරක නිධාන අගය කොට ඒවා රකින විට විදේශික සංචාරකයා ඒවායේ චමත්කාරයට ඇදෙන්නට පුරුදු වෙයි. 


මීට අවුරුදු තිහ හතළිහකට පෙර පවා ගැමියෝ එකට එක් වී සිය ගම්මානයට නුදුරු තැන්වල තිබෙන සොඳුරු දේ දකින්නට ගියහ. නාමල් පූජා ආදිය එයට නිදර්ශිතය. 


ඒවා අගය කරන විට ඒවා නිතැතින්ම රැකෙන්නේය. 


අපේ දේ සතු ශෝභාව භුක්ති විඳින්නට අපගේ තරුණ බාල පරපුර පුරුදු කිරීම ප්‍රබල සංචාරක ව්‍යාපාරයක නියම ආරම්භය විය යුතුය.


එසේ තමන් සතු දේ පවා දුබල දසුන් සේ සලකන විට ඒවා විදේශිකයන්ට ද දකින්නට සලස්සන්නට දරුවෝ ඉබේම පුරුදු වෙති. 


ඒ නිසා අප සතු ඉතා මහත් සංචාරක වාසනාව පාදා ගන්නට අපගේ හැදෙන පරපුරට දිරිදීම මේ දේශයේ සංචාරක ව්‍යාපාරයකට කෙරෙන දිරි ගැන්වීමක් මෙන්ම අයගේ පෘථුල සංවර්ධනයට ද ආශිර්වාදයකි. 


 

 

ෆිලිප් කුමරු රාජකාරියෙන් විශ්‍රාම ගනී

සමහර රටවල් පාලනය කරනු ලබන්නේ රැජිණියන් විසිනි. ඒ, රැජිණියන්ගේ ස්වාමි පුරුෂයන් “රජුන්” හැටියට හඳුන්වන්නේ නැත. එවැනි රාජකීය සැමියෙක් නම් කෙරෙන්නේ රැජිණගේ වල්ලභ කුමරු හැටියටය. 


අද එංගලන්තය පාලනය කරන දෙවන එලිසබෙත් මහ රැජිණගේ ස්වාමි පුරුෂයා ෆිලිප් කුමරුය. ඒ කුමරා, එඩින්බරෝ ආදිපාදවරයා හැටියට ද නම් කෙරේ. 


රැජිණගේ වල්ලභ කුමරුට රාජකාරි වර්ග දෙකක් පැවරේ. එකක් නම් රැජිණ හා සමග එක්ව යම්කිසි රාජකාරියකට සහභාගි වීමය. දෙවැන්න නම් තනිව ෆිල්ප් කුමරු හෝ එඩින්බරෝ ආදිපාදවරයා වශයෙන් හෝ යම්කිසි උත්සවයකට යෑමය. 


මේ වන විට ෆිල්ප් කුමරුගේ වයස 96 යි. එතුමා උපත ලැබුවේ 1921 ජුනි දහවනදාය. එලිසබෙත් මහ රැජිණගේ වයස අවුරුදු 91 යි. එතුමිය සිහසුනට පත්වූයේ 1952දීය. ඒ නිසා දෙවන එලිසබෙත් මහ රැජින මෙතෙක් එංගලන්තය ඉතිහාසයේ ඉතාම දිගු කලක් සිහසුන අරා සිටින රාජකීයන් බවට පත්වන්නීය. එතුමිය දැනට අවුරුදු 66 ක් සිහසුනේ සිටින්නීය. 


රැජිණගේ වල්ලභ කුමරු වශයෙන් ෆිලිප් කුමරා මෙතෙක් තනිව රාජකාරි 22,220කට සහභාගි වී සිටී. රාජකාරි මට්ටමේ දේශන 5,500කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වූයේය. සංවිධාන 780ක පමණ නිලතල ඉසිලුවේය. ෆිලිප් කුමරා රාජකාරිවලින් විශ්‍රාම ගත්තේ අගෝස්තු දෙවන බදාදාය. 


බි්‍රතාන්‍ය රාජ ඉතිහාසයේ ඉතාම දිගු කලක් රැජිණකගේ වල්ලභ කුමරු සේ සිටින්නේ ෆිලිප් කුමරුය. මීට පෙර එංගලන්තයේ වික්ටෝරියා මහ රැජිණට ද වල්ලභ කුමරෙක් සිටියේය. ඇල්බට් කුමරු නම් වූ ඔහු එතරම් දිගු කලක් ඒ පදවිය දැරුවේ නැත. වික්ටෝරියා මහ රැජින සිය වල්ලභ කුමරුට බොහෝ සේ පෙම් කළාය. ඔහුගේ අභාවයෙන් පසුව වික්ටෝරියා මහ රැජින සිය රාජකාරි අමතක කරමින් පවා දුක් වූවාය. 


ෆිලිප් කුමරු දෙවන එලිසබෙත් මහ රැජින හා සමග විවාහ වීමෙන් පසුව බහුල වශයෙන් රාජකාරිවල යෙදුනේය. ෆිලිප් කුමරු ජනකාන්ත චරිතයකි. මිනිස්සු ඒ රාජකීයයාට ප්‍රිය කළහ. පෞද්ගලික රාජකාරිවල යෙදීමෙන් විශ්‍රාම ගත්තද මීට පසුවත් මහ රැජින හා සමග එක්ව රාජකාරිවලට සහභාගි වන්නට ෆිලිප් කුමරුට සිදු වන්නේය. 


මහ රැජිණ ද සිය රාජකාරිවල යෙදීම් අඩු කරනු ඇතැයි බොහෝ දෙනා පවසති. මේ වැඩිහිටි රාජකීයයන්ගේ කටයුතු මින් පසුව පවතින්නේ විලියම් කුමරුටත් ඔහුගේ භාර්යාව වන කේට් (කැතරීන්) කුමරියටත්ය. වැඩිහිටි යුවළට, රාජකාරි කරන්නට තාමත් ශක්තිය හා ධෛර්යය තිබුණ ද නව පරපුර පුරුදු කිරීම ඒ අය විසින් ඉටු කළ යුතු යුතුකමකි. 


 

ලෝකයේ පැරණි පොත් පත් 

බුදු සමයට අයත් ‘ධම්ම පදය’ ලෝකයේ ඉතාම පැරණි සාම ග්‍රන්ථ අතුරින් එකකි. 


බුදු හිමියන්ගේ අති පෘථුල දේශනා සම්භාරය නිල වශයෙන් වර්ගීකරණය කරන ලද්දේ ප්‍රථම ධර්ම සංගායනාවේදීය. ඒ, ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන ලද්දේ අදට හරියටම අවුරුදු 2560කට ඉහතදීය. අනුග්‍රාහකවරයා වූයේ අජාසත්ත රජුය. 


මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ධර්ම සංගායනාව පැවැත්වුණේ ක්‍රිස්තු පූර්ව 543දීය. බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුවයි. රජගහ නුවර, වේභාර පර්වතය අසල සප්තපර්ණි ලෙණෙහි පැවැති ඒ ධර්ම සංගායනාවේදී ආනන්ද හිමියෝ බුදුන් වදාළ දහම් ප්‍රකාශ කළ සේක. 


එහිදී සූත්‍ර පිටකය වශයෙන් වර්ගීකරණය කරන ලද අංශයෙහි ඛුද්දකාගම නම් කොටසක් වෙයි. එහි දෙවන ග්‍රන්ථය මේ ‘ධම්ම පදය’ නම් පොතයි. 


‘ධම්ම පදය’ සෑදී තිබෙන්නේ වර්ග 26කිනි.


ඒවා මෙසේය. 1. යමක වර්ගය (ගාථා 1-20) 2. අප්පමාද (ගාථා 21-32) 3. චිත්ත (ගාථා 33-43) 4. පුප්ඵ (44-59) 5. බාල (60-75) 6. පණ්ඩිත (76-89) 7. අරහන්ත (90-99) 8. සහස්ස (100-115) 9. පාප (116-128) 10. දණ්ඩ (129-145) 11. ජරා (146-156) 12. අත්ත (157-166) 13. ලෝක (167-178) 14. බුද්ධ (179-196) 15. සුඛ (197-208) 16 පිය (209-220) 17. කෝධ (221-234) 18. මල (235-255) 19. ධම්ම ටඨ (256-272) 20. මගග (273-289) 21. පකිණණක (290-305) 22. නිරය (306-319) 23. නාග (320-333) 24. තණ්හා (334-359) 25. භික්ඛු (360-382) 26. බ්‍රාහ්මණ (383-423) (සම්පූර්ණ වර්ග සංඛ්‍යාව විසි හයයි. සම්පූර්ණ ගාථා ගණන 423 යි.) මේ ගාථා 423 ඕනෑම අවස්ථාවකට සුදුසු කවරාකාර වූ හෝ ප්‍රශ්නයකට පිළිතුරු සම්පාදනය කළ හැකි අති ගෞරවණීය ධර්ම පාඨයෝ වෙති. ප්‍රථම වර්ගයේ පළමු වන ගාථාවේ මුල් පදය “මනෝ පුබ්බංගමා ධම්මා” යන්නයි. අවසාන වර්ගයේ (26 වන වර්ගයේ) අන්තිම ගාථාවේ මුල් පදය මෙසේය. ‘පුබෙබ නිවාසං යොවේදි’. 


දෙවන ලෝක මහා යුද්ධය (1939-1945) කෙළවර වී ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ සන් ෆ්‍රැන්සිකෝ නගරයේදී පැවැත්වුණු සාම සාකච්ඡාවේදී ජේ.ආර්. ජයවර්ධන මහතා, ඒ සාම සම්මේලනය ඇමතුවේ ධම්මපදයේ බාල වර්ගයේ එන ‘නහි වේරෙන වේරානි’ යන ගාථාවෙනි. මෙය ඒ සම්මේලනයට සාමකාමීව තිරණවලට එළඹෙන්නට උපකාරී වූ බව ඉතිහාසය පවසන්නේය. 


ධම්ම පද ගාථා, අවවාද, උපදේශ වශයෙන් ලොව පුරා කාටත් එක සේ ප්‍රයෝජනවත්ය. 


එහි ‘සුඛ’ වග්ගයේ මේ ගාථාව එයි. 
ජයං වෙරං පසවති - දුඛං සේති පරාජිතො
උප සනෙතා සුඛං සේති - හිතවා ජය පරාජයං 
ජයග්‍රහණ නිසා වෛරය උපදී පරාජිතයා දුක්ඛිතව වෙසේ. 


එහෙත් උපශාන්ත ගුණැති තැනැත්තා ජය පරාජය නොතකා ඒ දෙකටම ඉහළින් සතුටින් නැගී සිටියි.


 ධම්ම පද ග්‍රන්ථය මෙතෙක් භාෂා විශාල සංඛ්‍යාවකින් පළ වී ඇත්තේය. අද වන තෙක් ලෝකයේ පහළ වූ විශාලතම ධම්ම පද සංස්කරණය නම් සිංගප්පූරුවේ සංඝ නායක සිංගප්පූරු බෞද්ධ භාවනා මධ්‍ය ස්ථානාධිපති ගරු වේරගොඩ සාරද නාහිමියන්ගේ කර්තව්‍යයෙන් පළ වූ කෘතියයි. එහි ඉංග්‍රීසි නම “ටේ‍රෂරි ඔෆ් ටෘත්” (ධර්ම භාණ්ඩාගාරය) එහි එක් ගාථාවට එක එක පත්‍රය බැගින් සකස් වී ඇත්තේය. මෙය සිංහල චීනාදි භාෂාවලට අනුවාදිතයි. නිධාන කථා, අටුවා, ටීකා ආදියෙන් සමන්විත මේ ග්‍රන්ථයේ සංස්කාරකත්වය දැරීමේ වාසනාව උදා වූයේ මට බව ද නිහතමානීව ප්‍රකාශ කරන්නෙමි. 


 

සංචාරකයන් සහ සිංහල තරුණයන් දෙදෙනා

සිංහල තරුණයන් දෙන්නෙක් සුහදව කතාබහේ යෙදෙමින් නගරයක පාර අසල බංකුවක වාඩි වී සිටියහ. හය දෙනෙකුගෙන් සෑදුණු සංචාරක කණ්ඩායමක් ඒ දෙදෙනා වෙත ආහ. ඉන් එක් අයෙක් තරුණයන්ට කථාකොට ‘සත්තු වත්තට යන පාර කියන්නැයි’ ඉංග්‍රීසියෙන් කීවේය. දෙන්නාටම තේරුණේ නැත. කණ්ඩායමේ තව කෙනෙක් හින්දි බසින් එයම කීයේය. සිංහල තරුණයන් දෙදෙනාට එය තේරුනේත් නැත. ඊගාවට තවකෙක් එයම ප්‍රංශ බසින් ඇසුවේය. 


එයත් නොතේරුණේය. ඊගාවට ජර්මන් බසින්. එයත් එසේමය. බංග්ලා දේශිකයෙක් ඉදිරිපත් විය. ඉන් ද පළක් නොවීය. සංචාරකයෝ ගියහ. මේ සිද්ධිය බලා සිටි අයෙක් ඒ සිංහල තරුණයන් වෙත ආයේය. සංචාරකයන් ඇසුවේ ‘සත්තු වත්ත කොහේද’ කියලා. තරුණයන්ට කර කියා ගත හැකි දෙයක් නැත. දෙදෙනාගෙන් එක් කෙනෙක් අනිකාට මෙසේ කීය. 


“යාලුවා අපි ඉංගිරීසි ටිකක් වත් ඉගෙන ගන්න ඕනෑ’. 


අනිකා ඒ ගැන උනන්දුවක් දැක්වූයේ නැත. ඔහු මෙසේ කීයේය. ‘මොකටද බං අපි වෙන භාෂාවක් උගෙන ගන්නේ. දැක්කනේ උන්ට භාෂා පහක් දැන ගෙනත් සත්තු වත්තට යන පාර හොයා ගන්න බැරි වුණානේ’. 


RECOMMEND POSTS