වැඩිම ලවණ සාන්ද්‍රණය සහිත පොකුණ



ලෝකයේ වැඩිම ලවණ සාන්ද්‍රණය සහිත විල ලෙස ගිනස් ලෝක වාර්තා පොතට එක්ව ඇත්තේ ඉතියෝපියාවේ දනාකිල් ඩිප්‍රෙෂන් (Danakil Depression) ප්‍රදේශයේ පිහිටි ගේට්ඇල (Gaet'ale) පොකුණය.

මෙම පොකුණෙහි ලවණ සාන්ද්‍රණය සියයට 43.3 කට වඩා ඉහළ අගයක් ගන්නා අතර, එය මළ මුහුදේ (සියයට 34) සහ ඇන්ටාක්ටිකාවේ ඩොන් ජුවාන් පොකුණේ (සියයට 33.7) ලවණ සාන්ද්‍රණයට වඩා බෙහෙවින් වැඩිය. 

සාගර ජලයේ සාමාන්‍ය ලවණ සාන්ද්‍රණයට වඩා 12 ගුණයකටත් වඩා වැඩි මෙම තත්ත්වයට හේතුව වන්නේ එහි භූගෝලීය පිහිටීමය. අධික උෂ්ණත්වය සහ අඩු වර්ෂාපතනය හේතුවෙන් ජලය වේගයෙන් වාෂ්ප වී යන අතර, එහි අඩංගු ඛනිජ ලවණ අධික සාන්ද්‍රණයකින් ඉතිරි වෙයි.

මෙම ආන්තික පරිසරය සාමාන්‍ය ජීවී විශේෂවලට පැවතීමට නුසුදුසු වුවද, අධික ලවණ පරිසරවලට ඔරොත්තු දෙන ක්ෂුද්‍ර ජීවීන්  පිළිබඳ පර්යේෂණ කිරීමට මෙම ස්ථානය විද්‍යාඥයන්ට කදිම අවස්ථාවක් සපයා දී ඇත.
 
සශිනි අප්සරා

 


RECOMMEND POSTS