වට් නොන්සන්ස් - මලහත්තිලව්වයි



ඔන්න ඉතින් පසුගිය වෙසක් කාලේ සිද්ද වුන අකරතැබ්බයක් ගැන තමයි මේ කතාව. වෙසක් අසිරියත් එක්ක හරි හරියට මහා සුළඟයි, වැස්සයි , ගංවතුරයි, සීතලයි නේ. ආං ඒ අල්ල පනල්ලේ අපි දන්න හඳුනන අපේම කෙනෙක්ට වුන අකරතැබ්බයක් තමයි අද කතාව.

මේ කතාවේ කතා නායකයා තමයි කුමාර. කුමාර ඇතුලු යාලුවෝ පිරිස කතා වුනාලු වෙසක් දවසේ උදේ ඉදන් දන්සල් වඳින්න යන්න. බුද්දාලම්බන ප්‍රීතියෙන් උදේ ඉදන් ප්ලෑන් ගැහුවලු දන්සල් යන එක ගැන. ඔය ගැන කතා කර කර ඉද්දි ,ඔන්න ඉතින් කුමාරගේ අම්මා ඇවිල්ලා කුමාරට බැන්නලු " ඔය ඉලව් ෆෝන් එකේ එල්ලිලා ඉන්නැතුව අවුව පායපු වෙලාවේ රෙදිටික හෝදලා දාලා යන තැනක යන්න " කියලා. කුමාර දන්නවා අම්මගේ හැටි හොඳටම. රෙදි ටික හෝදන්නැතුව ගියොත් දන්සල් වඳින්න යනවා බොරු. හවස්වරුවේ දන්සල් වඳින්න ඕනේ නිසාම කුමාර ගියා රෙදි ටික හෝදන්න. කිළුටු රෙදි ටික කඩි මුඩියේ හෝදන ගමනුත් කල්පනා කරේ දන්සල් වඳින්න යන ගමන ගැන. කුමාර දවල්ට බත් කද්දිත් මතක් වුනේ රෑට දන්සල් වඳින්න යන එක ගැන. වැසිකිළියට ගියෙත් දන්සල් යන විදිහ කල්පනා කර කර.කුමාර ඇඟිලි ගැන ගැන බලන් හිටියේ දන්සල් වඳින්න යන්න. 

දන්සල් පෝලිමේ ඉන්න කෙල්ලන්ට දෙන්න කියලා ෆෝන් නම්බර් එකත් කොළ හත අටක ලියාගෙන කුමාර දන්සල් වඳින්න යන්න ජැන්ඩියට ලෑස්ති වෙද්දි , කුමාරගේ අම්මා ඇවිල්ලා කිව්වලු හෝදපු රෙදි ගෙට දාලා යන්න කියලා. කුමාර ඉන්නේ දන්සල් සිහියෙන් යාලුවෝ ගේ ලඟට ඇවිල්ලා කුමාරට කතා කරපු නිසා කුමාරත් රෙදිටික ගත්තා කියලා පොඩි බොරුවකුත් කියලා කලබලේටම ගෙදරින් පැන ගත්තා. 

ඔන්න දැන් කට්ටිය වෙසක් බලලා, තොරන් බලලා , දන්සල් වැඳලා ගෙවල් වලට එන්න පිටත් වුනාලු. යාලුවෝ කට්ටිය එක්ක ආගියතොරතුරු කතා කර කර විහිළු කර කර එන අතරේ. හොඳටම හුළඟලු. වැස්සක් වගේත් එන නිසා කට්ටිය හනි හනිකට ආවලු. කුමාරලගේ ගේ ළඟ හන්දියේ අඹ ගහේ අරුම පුදුම විදිහට වව්ලෝ වගයක් එල්ලිලා වගේ දැක්කලු. කුමාරත් මේ අරුම පුදුම දේ යාලුවන්ටත් පෙන්නුවලු. ගහට ළං වෙලා එබිකම් කරලා බැලුවම , හත්තිලව්වේ.. ගහපුරාම යට කලිසම් .. කුමාරට නිකන් දැකලා පුරුදුයිත් වගේලූ. මේං බොලේ ගහ උඩ හරියට වෙන්න කුමාරගේ කමිස, කලිසම් එහෙමත් තියනවලු. කුමාරට දෙයියෝ බුදුන් සිහි උනාලු. කුමාරට කරගන්න දෙයක් නැතුව උසේන් බෝල්ට් වගේ දිව්වලු කෙලින්ම ගෙදර. හෝදපු රෙදි ටික ඔක්කොම හුළගට ගිහින් හන්දියේ ගස් උඩලු ඉතින්.

ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS