වට් නොන්සන්ස් - බොස්ගේ දුවගේ වෙඩින් එක



මේකත් ඉතින් උනේ හැමදාමත් වගේ කොළඹ ප්‍රසිද්ධ එක්තරා කර්මාන්ත ශාලාවක. හැමදේම වෙන්නේ එකම කර්මාන්තශාලාවේ කියලා හිතන්න එපා. නම් නොකීවට ඉතින් මේවා වෙන්නේ එක එක ඔෆිස් වල. 

කතාව මෙන්න මෙහෙමයි. ඔන්න ඉතින් ආයතන ප්‍රධානියාගේ වන් ඇන්ඩ් ඔන්ලි ඩෝටර්ගේ වෙඩින් එකලු. ඉතින් ඉන්නෙත් එක දුවෙක් නිසා. වෙඩින් එක  තිබ්බෙත් තරු පහේ හොටෙල් එකක. ස්ටාෆ් එකේ හැමෝටම ඇරයුම් කරලා ආපු හැමෝටම හොඳම දේවල් වලින් හොඳට කන්න බොන්න එහෙමත් දුන්නා. 

වෙඩින් එක අවසන් වෙනකොටත් නැටුම් තෙල් සෑහෙන ප්‍රමාණයක් ඉතුරු වෙලා තිබ්බ නිසා බොස් , ඔෆිස් එකේ පියන් කෙනෙක්ටයි හිතවත් සේවකයෙක්ටයි අඬගහලා කිව්වලු වෙඩින් එක ඉවර උනාම ඉතුරු බෝතල් ඔක්කොම වෑන් එකට දාලා ගෙදරට ගෙනත් දාන්න කියලා. ඉතින් ඔන්න කිව්වත් වගේ වෙඩින් එක අවසානයේ මේස උඩ ඉතුරුවෙලා තිබ්බ බෝතල් ඔක්කොම එකතු කරලා, චුට්ට චුට්ට ඉතුරු වුන ඒවත් එක බෝතලේකට දාලා වෑන් එකට දාගත්තලු. වෑන් එකේ ඉස්සරහා බොස්ගේ හිතවත් සේවකයා ගියාලු. පිටිපස්සේ සීට් එකේ බෝතල් ටිකත් ආරක්ශා කරගෙන අර කිව්ව පියන් ගියාලු.

යනගමන් ඉතින් අර ඉස්සරහා හිටපු සේවක මහතා කිව්වලු අර පියන්ට " මං එහෙනම් මගේ ගේ ලඟින් බහින්නම්. උබට පුලුවන්නේ බොස්ගේ ගෙදරට ගිහින් ඔය ටික තියන්න " කියලා. ඉතින් අර පියනුත් කිව්වලු " හරි හරි මහත්තයා ,ගේ ලඟ බැහැගන්න. මං මේ ටික බොස්ගේ ගෙදරින් දාන්නම් , ඕක මොකද්ද සුළු වැඩක්නේ මං කරන්නම් " කියලා.

ඔහොම කියලා, පැය භාගෙකින් විතර ඔන්න ඉතින් අර උන්දැගේ ගේ ළඟට ආවලු. ඇවිත් බැහැලා. පිටිපස්සේ හිටපු පියන්ට "ඉස්සරහට ඇවිත් වාඩිවෙයන් " කියාගෙන පිටිපස්සේ දොර ඇරියා විතරයි. රූස්ස කෙහෙල් ගහක් කඩන් වැටුන වගේ පතෝරියන් ගාලා පියන්ව බිම පතබෑවුනාලු. බැලින්නම් අර කලවම් බෝතල් වලින් මේ මනුස්සයා ටික ටික බිබී ඇවිල්ලා හොඳටම සූර් වෙලා ඉඳලා තියෙන්නේ. සිහියක් පතක් නැති උනාට මොකද. බිම වැටිලා ඉද්දිත් කිව්වලු. "හරි හරි මහත්තයා යන්න .මං මේ ටික අරන් යන්නම් "කියලා..

ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS