මරකත මමියේ අබිරහස



ඉතාලියේ බොලොඤ්ඤා නගරය ප්‍රසිද්ධියක් උසුලන්නේ, එහි පැරණි ගෘහනිර්මාණ ශිල්පය හා විශ්වවිද්‍යාලය නිසාය. එහෙත්, 1987 වසරේ එක් සොයාගැනීමක් සියල්ල වෙනස් කළේය. ඒ, බොලොඤ්ඤා නගරයේ ඉතිහාසයට අලුත්, අද්භූත පරිච්ඡේදයක් එකතු කරමිණි. එදා බොලොඤ්ඤා නගරයේ, පැරණි මන්දිරයක බිම්මහලේ කැණීම් සිදුවෙමින් පැවැතිණි.

එම කැණීම් අතතුරේ, දිරාපත් වූ කුඩා තඹ පෙට්ටියක් හමුවිය. ඇතුළේ ඇත්තේ කුමක්දැයි කුතුහලයෙන් එය විවර කරද්දී, ඒ තුළ වූයේ වකුටු වුණු මමීකරණයට ලක් වුණු ඇට සැකිල්ලකි. දිරාපත් වුණු සමේ කොටස් ද අස්ථිවලට ඇලී තිබුණි. ඇට සැකිල්ලේ පාද තිබුණේ නැත. ඒවා කපා දමා සිරුර තඹ පෙට්ටිය තුළට ඔබා තිබුණු බවක් දකින්න ලැබුණි. කවුරුත් පුදුම කළ දේ නම්, මේ මමීකරණය වුණු ඇටසැකිල්ල කොළ පැහැති වර්ණයක් ගැනීමය. ඒ අනුව, ‘මරකත මමිය‘ යනුවෙන් මෙම මමිය නම් කෙරුණු අතර එය දශක ගණනාවක් විද්‍යාඥයන්ට අබිරහසක් වී තිබුණි. 

මමීකරණයට ලක්ව සිටින්නේ අවුරුදු 12 ත් 14 ත් අතර වයසේ ගැටවරයකු බව මුලින් කළ විමර්ශනවලදී පැහැදිලි වුවත්, සිරුර කොළ පැහැයක් ගත්තේ ඇයිදැයි යන අබිරහසට පිළිතුරු සොයා ගැනීමට හැකිවූයේ නැත. මෙම ගැටවරයා කිසියම් ශාපයක් නිසා මේ අයුරින් කකුල් කපා පෙට්ටිය තුළ සිරකර භූමදානය කරන්න ඇතැයි ද අනුමාන කෙරුණි.

මමිය බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය කෞතුකාගාරයේ තැන්පත් කෙරුණු අතර, කාලයත් සමඟ පර්යේෂණවලට ලක් වූයේ එය රසායනික විශ්ලේෂණයන් විකිරණවේදය සහ කාල නිර්ණය වැනි නවීන ක්‍රමවේද යොදා ගනිමිනි. ඒ අනුව, ගැටවරයා මියගොස් ඇත්තේ දළ වශයෙන් 17 වන සියවසේ මුල් භාගයේ (1617-1814 අතර) බවට කාල නිර්ණය කර ගැනීමට හැකිවිය. එසේ වුවත්, මමියේ කොළ පැහැයේ අබිරහස විසඳා ගැනීමට මෙතෙක් විද්‍යාඥයන්ට හැකි වූයේ නැත.‍

ඒත්, ශතවර්ෂ ගණනාවකට පෙර, ඉතාලියේ භූමදානය කර තිබියදී හමුවුණු මරකත මමියේ කොළ පැහැයට හේතුව දැන් සොාය ගැනීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇත. විද්‍යාඥයන් පවසන්නේ මමියේ කොළ පැහැයට හේතුව, මමිය අඩංගු වන තඹ පෙට්ටිය බවය. තඹවල ඇති ක්ෂුද්‍ර ජීවී නාශක (antimicrobial) ගුණාංග හේතුවෙන්, ගැටවරයාගේ සිරුරේ දැඩි හා මෘදු පටක ආරක්ෂා වීම සිදුවී එය මමීකරණයට ලක් වී ඇත.

දේහයෙන් පිට වූ අම්ල (acids) සමග තඹ ප්‍රතික්‍රියා කිරීමේ දී, මිනී පෙට්ටිය ක්‍රමයෙන් දිරාපත් වීමට පටන් ගත්තේය. කාලයත් සමඟ තඹ අයන (copper ions) ගැටවරයාගේ ඇටසැකිල්ලේ තිබූ කැල්සියම් (calcium) වෙනුවට ආදේශ වී ඇත. මෙම ක්‍රියාවලිය මඟින් අස්ථි ව්‍යුහය ශක්තිමත් වීමත් සමඟම, බලපෑමට ලක් වූ ප්‍රදේශවලට කොළ පැහැයක් ගත් බව විද්‍යාඥයෝ පැහැදිලි කරති.
 
New Scientist ඇසුරිනි


RECOMMEND POSTS