ටෙක්සාස් ජල ගැල්ම

ඇමෙරිකන් කාලගුණ විද්‍යාඥයන් ‘බැරී’ යනුවෙන් නම් කළ අත්ලාන්තික් නිවර්තන සුළි කුණාටුව, ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයට කඩා වැදුණේ පසුගිය ජූලි 4 වැනිදාය. ජූලි 4 වැනිදා ඇමෙරිකාවේ නිදහස් දිනය ද විය. ‘බැරී’ කාණාටුව හේතුවෙන්, ටෙක්සාස් ජනපදයේ, ටෙක්සාස් හිල් ප්‍රාන්තයට පැය කීපයක් ඇතුළත මිලිමීටර් 130 ත් 280 ත් අතර මහ වැසි ඇද හැලෙන්න විය.
ස්පාඤ්ඤ නමකින් හැඳින්වෙන ග්වාඩලුප් ගංගාව, කේර්විල්, නිව් බ්රෝන්ෆෙල්ස්, සෙගින්, ගොන්සාල්ස්, කුවෙරෝ සහ වික්ටෝරියා යන නගර පසු කරමින්, ටෙක්සාස් ජනපදයේ කේර් ප්‍රාන්තයේ සිට සැන් ඇන්තෝනියෝ බොක්ක හරහා සාගරයට ගලා බසී. ඇද හැලුණු මහ වැසි හේතුවෙන් ග්වාඩලුප් ගංගාව ප්රචණ්ඩ විය. පිටාර ගගන්න පටන් ගත්තේය.
ග්වාඩලුප් ගංගාව, පිටාර ගලා හිටිහැටියේ හටගත් ක්ෂණික සැඬ ජල පහර ප්‍රචණ්ඩකාරීව නගරවලට කඩා වැදුණි. නිවාස සහ ගොඩනැගිලි විනාශ විය. මෝටර් රථ ගසා ගෙන ගියේය. ප්රචණ්ඩ සැඬ පහර කළ විනාශය පසුගිය දින කීපයේ විදෙස් පුවත් සේවා ඔස්සේ දකින්න ලැබුණි. සැඬ පහරට හතලිස් තුන් දෙනකු බිලි වූ බවත් එයින් 15 දෙනකු කුඩා දරවන් බවත් ඇමෙරිකන් මාධ්‍ය ඊයේ (6) වාර්තා කළේය.
‘කෑම්ප් මිස්ටික්’ නමැති බාලිකා කඳවුර පිහිටා ඇත්තේ ග්වාඩලුප් ගං ඉවුරේය. පාසල් නිවාඩුවට නව යොවුන් දැරියෝ කෑම්පි මිස්ටික් බලා පැමිණෙති. ඔවුහු විවිධාකාරයේ ක්රියාකාරමක්වල නියැළෙති. සැඬ රළ පහර කෑම්ප් මිස්ටික් හරහා ගලා ගියේ ද එහි සිටි දැරියන් බිලි ගනිමිනි. මියගිය දැරියන් කීප දෙනකුගේ සිරුරු ඊයේ (6) වනවිට හමුවී තිබුණි. ජල ගැලීමට හසුවෙද්දී ‘කෑම්ප් මිස්ටික්’ කඳවුරේ නේවාසිකාගාරවල සිටි දැරියන් ගණන 700 ක් බව ද පැවැසෙයි.
අතුරුදන් දැරියන් 27 දෙනකු සොයා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වූයේ මාපියන්ගේ විලප මධ්‍යයේය. මීට අමතරව, ජල ගැලීම්වලට හසුවී කොටු වුණු සහ ජලයේ ගසාගෙන ගිය වැසියන් බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වුණු අතර, හෙලිකොප්ටර් ආධාරයෙන් එම පිරිස් බේරා ගැනීම සිදුවිය. ජල ගැලීම්වලට කොටු වී බේරාගත් ගණන 850 ක් යැයි ද පැවැසෙයි. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට ගිනි නිවන භටයන්ට ඇමෙරිකන් වෙරළාරක්ෂකයන්ගේ ද සහාය හිමිවිය.

මියගිය දැරියන්
‘බැරී’ සුළි කුණාටුව හේතුවෙන්, ග්වාඩලුප් ගංගාව පිටාර ගැලීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යාඥයන් පෙර අනතුරු ඇඟවීම් කර තිබුණි. අනතුරුදායක ස්ථානවලින් ජනතාව ඉවත් විය යුතු යැයි ද මාධ්‍ය හරහා උපදෙස් දී තිබුණි. කෙසේ නමුත්, මහ වැසි සමඟ මිනිත්තු 45 ක් වැනි කෙටි කාලයකදී, ගංගාවේ ජල මට්ටම මීටර් 8 ක් ඉහළ ගොස්, සැඬ පහර ද සමඟ එය පිටාර ගලනු ඇතැයි කාලගුණ විද්‍යාඥයන්ට කල් තියා අනාවැකි කීමට නොහැකි විය. මහ වැසි සහ ජල ගැලීම් බලධාරීන් අසරණ කළේය.
ඇමෙරිකන් නිදහස් දිනයට සමගාමී, ඉකුත් සති අන්තයේ මෙම ව්‍යසනය සිදුවූයේ, නිවාඩුවට විනෝද වෙමින් සිටි බොහෝ දෙනකු පමණක් නොව, ප්‍රාන්ත බලධාරීන් පවා පුදුම කරවමිනි. ගංගාවට ඔබ්බෙන් කඳුකරයේ බොහෝ දෙනකු කඳවුරු බැඳගෙන සිටි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නිසි ලෙස අනතුරු ඇඟවීම් සිදු නොවීම සහ අනතුරු ඇඟවීම් ප්‍රමාණවත් නොවීම ආදිය හේතුවෙන් ජීවිත හානි සිදුවිය. අනතුරු ඇඟවීම් ප්‍රමාද වීම සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රාන්ත බලධාරීන්ට දොස් ඇසීමට ද සිදුවී ඇත.

අතුරුදන් වූ දැරියන්
සිදුවුණු විනාශය ගැනත් ජීවිත හානි ගැනත් සොව පළ කරමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැවැසුවේ, ෆෙඩරල් රජය, ප්‍රාන්ත සහ පළාත් පාලන ආයතන සමඟ එක් වී කටයුතු කරන බවත්, විපතට පත්වූවන්ට කඩිනමින් සහය ලබා දෛන බවත්ය.
ටෙක්සාස් ජනපදය මුහුණ දුන් මෙම ව්‍යසනය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යාඥයන් පැහැදිලි කරන්නේ, මෙලෙස හිටිහැටියේ මහ වැසි ඇද හැලීම, විපරිත කාලගුණ පෙරළි නිසා සිදුවන්නක් බවය. විපරිත කාලගුණ පෙරළි යනු, සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන කාලගුණික තත්ත්වයන්ට වඩා ඉතාමත් දරුණු හෝ අසාමාන්‍ය විදිහට හෝ සිදුවන කාලගුණික තත්ත්වයන්ය. දේශගුණික විපර්යාසවල සෘජු ප්‍රතිඵලයක් ලෙස මෙම විපරිත කාලගුණ පෙරළි නිර්මාණය වන බව කාලගුණ විද්‍යාඥයන්ගේ අදහසය.
(බීබීසී ඇසුරිනි)

