ග්‍රහකයකින් DNA සහ RNA හමුවෙලා

පෘථිවිය මත ජීවය ඇති වූයේ කෙසේද? මෙය සියවස් ගණනාවක් තිස්සේ විද්‍යාඥයන්ට පමණක් නොව, අපටත් තිබූ ගැටලුවකි. එම ගැටලුවට ඉතාමත් විශ්වසනීය සහ විද්‍යාත්මක පිළිතුරක් ලබා දීමට ‘රියුගු’ (162173 Ryugu) සමත් වී සිටී. ‘රියුගු’ යනු ග්‍රහකයකි. ජපන් විදාඥයන් පසුගිය දා පෙන්වා දුන්නේ, ජීවයේ මූලිකම පදනම වන DNA සහ RNA නිර්මාණය වීමට අවශ්‍ය කරන නියුක්ලියෝබේස (Nucleobases) පහම, ‘රියුගු’ ග්‍රහකයේ පස්වල අඩංගු බවය.
රියුගු (162173 Ryugu) ග්රහකය මුලින්ම ලොවට අනාවරණය කරගනු ලැබුවේ, 1999 මැයි මස 10 වන දින ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ පිහිටි ලීනියර් LINEAR (Lincoln Near-Earth Asteroid Research) විශ්වය ගවේෂණය සිදු කරන ව්‍යාපෘතිය මගිනි. සොයාගත් මුල් අවධියේදී මෙය විද්‍යාත්මකව 1999 JU3 යන තාවකාලික නාමයෙන් හඳුන්වනු ලැබූ අතර, පසුව, රියුගු යන නාමය ලබා දෙන ලදී. මෙම නම තෝරා ගැනීම පිටුපස සුන්දර ජපන් ජනප්‍රවාදයක් පවතී. ජපන් සංස්කෘතියට අනුව රියුගු-ජෝ යනු සාගර පතුලේ පිහිටි මකර රජුගේ මාලිගාව වන අතර, එහි සිට වටිනා පෙට්ටියක් රැගෙන එම ජනප්‍රවාදයයි. රියුගු ග්‍රහකයේ ස්වරූපය දෙස බැලීමේදී එය දළ වශයෙන් දියමන්තියක හැඩයට සමාන වන අතර, එහි සමකය ආසන්න ප්‍රදේශය තරමක් පිටතට නෙරා පවතී. ප්‍රමාණයෙන් මීටර් 900 ක (කිලෝමීටර් 0.9 ක) පමණ විෂ්කම්භයකින් යුක්ත වන රියුගු, විද්‍යාත්මකව සී වර්ගයේ C-type (Carbonaceous) හෙවත් කාබනික ගණයට අයත් ග්රහකයක් ලෙස වර්ගීකරණය කෙරුණි. ග්රහක වර්ගීකරණය මේ ලිපිය අවසානයේ ඇත.
රියුගු (162173 Ryugu) ග්රහකය ගවේෂණය කිරීම කළ යුතු බව තීරණය කළේ ජපන් අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන්ය. ඔවුන්ට අවශ්‍ය වූයේ රියුගු ග්රහකයට රොබෝ ගවේෂණ යානයක් යවා, එහි පස් සහ දූවිලි එකතු කරගෙන එම රොබෝ යානය ආපසු පෘථිවියට ගෙන්වා ගැනීමටය. මෙවැනි වික්‍රමයක් මීට පෙර කිසිදු අභ්‍යවකාශ ආයතනයක් සිදු කර තිබුණේ නැත. ඒ අනුව, 2014 දෙසැම්බර් 3 වැනිදා ජපානයේ තනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ‘හයබුසා 2’ නමැති රොබෝ ගවේෂණ යානය අභ්‍යවකාශයට යැවීම සිදුවිය. එහි ඉලක්කය වූයේ පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 300ක් පමණ ඈතින් විශ්වයේ ඩතා වේගයෙන් ඇදී යන කාබන්වලින් පිරුණු රියුගු ය. වසර තුනහමාරක දීර්ඝ ගමනකින් පසු, 2018 ජුනි මාසයේදී ‘හයබුසා 2’ සාර්ථකව රියුගු අසලට පැමිණියේය.
රියුගු වෙත ළඟා වූ පසු ‘හයබුසා 2’ යානය, ග්‍රහකයේ වේගයට සමාන අයුරින් ඊට සමාන්තරව වේගයෙන් ගමන් කරමින්, වහාම එහි මතුපිට අධ්‍යයනය ආරම්භ කළේය. ‘හයබුසා 2’ යානය සතුව කුඩා රෝවර් යානා දෙකක් ද විය. ‘මිනෙර්වා’ MINERVA-II සහ ‘මැස්කොට්’ MASCOT නමැති එම කුඩා රෝවර් යානා ග්‍රහකයේ මතුපිටට මුදාහැරීම සිදුවිය. ගුරුත්වාකර්ෂණය ඉතා අඩු මෙම ග්රහකය මත මෙම රෝවර් යානා ‘පැන පැන’ ගමන් කරමින් එහි උෂ්ණත්වය සහ චුම්බක ක්ෂේත්රය ආදී වටිනා දත්ත රැස් කළේය.
මෙහෙයුමේ වඩාත්ම තීරණාත්මක පියවර වූයේ රියුගු මතුපිට ඇති පස් සහ දූවිලි සාම්පල ලබාගැනීමය. 2019 පෙබරවාරි මාසයේදී ‘හයබුසා 2’ යානය, තවත් ග්රහකයට ළං වී, රොබෝ කැණීම් උපකරණය භාවිතයට ගනිමින් ග්‍රහකයේ සිදුරක් විදීම කළේය. 2019 අප්‍රේල් මාසයේදී අවශ්‍ය පරිදි සාම්පල ලබා ගැනීම සිදුවිය.මෙහෙයුම අවසන් කළ ‘හයබුසා 2’ යානය 2019 නොවැම්බර් මාසයේදී රියුගු ග්‍රහකයෙන් සමුගෙන පෘථිවිය බලා ගමන් ඇරඹීය.
වසරක ගමනකින් පසු, 2020 දෙසැම්බර් 6 වන දින, වටිනා සාම්පල අඩංගු කුඩා කැප්සියුලය ඕස්ට්‍රේලියාවේ වූමේරා කාන්තාරයට සාර්ථකව පතිත කෙරුණි. පසුව එම සාම්පලය ජපාන විද්‍යාඥයන් අතට පත් විය. එදා සිට මේ දක්වා, ජපන් විද්‍යාඥයෝ එම පස් සහ දූවිලි සාම්පල පරීක්ෂාවට ලක් කළහ. 2023 වසරේදී විද්‍යාඥයන් මුලින් ප්‍රකාශ කළේ ග්‍රහකයෙන් ලබාගත් සාම්පල තුළ RNA වල එක් සංරචකයක් වන ‘යුරැසිල්’ (Uracil) අඩංගු බවය. එ්ත් පසුගිය මාර්තු 20 වැනිදා නවතම වාර්තා මගින් මුළු ලෝකයම මවිතයට පත් කරමින් විද්‍යාඥයන් පවසා සිටියේ ජීවයේ ජානමය සිතියම සකස් කරන අනෙක් ප්‍රධාන කොටස් හතර වන ඇඩිනින් (A), ග්වැනින් (G), සයිටොසීන් (C) සහ තයිමින් (T) ද එහි පවතින බවය. මෙයින් අදහස් වන්නේ ජීවය නිර්මාණය වීමට අවශ්‍ය කරන සම්පූර්ණ අමුද්‍රව්‍ය කට්ටලයම අභ්‍යවකාශයේ පවතින බවය.
මෙහිදී අප වරදවා වටහා නොගත යුතු වැදගත් කරුණක් ඇත. මෙම සොයා ගැනීම පිළිබඳව අදහස් දක්වන ජපාන සාගර-පෘථිවි විද්‍යා හා තාක්ෂණ ඒජන්සියේ ජෛව රසායන විද්‍යාඥ තොෂිකි කොගා පැහැදිලි කර දෙන්නේ නියුක්ලියෝබේස (Nucleobases) තිබූ පමණින් රියුගු මත ජීවීන් සිටි බව අදහස් නොවන බවය. ඒ වෙනුවට මෙයින් තහවුරු වන්නේ ජීවයේ ආරම්භයට අවශ්‍ය වන සංකීර්ණ රසායනික අණූ නිපදවීමට සහ ඒවා ආරක්ෂා කර තබා ගැනීමට මෙවැනි ප්‍රාථමික ග්‍රහකයන්ට හැකියාව ඇති බවය.
මෙම සොයා ගැනීමත් සමඟ ලෝකය පිළිගත් ප්‍රිබයෝටික් (Prebiotic) උපකල්පනය තවදුරටත් තහවුරු වේ. එනම්, මීට වසර බිලියන ගණනකට පෙර පෘථිවිය මත ජීවය හටගැනීමට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය සපයන ලද්දේ පෘථිවියට කඩා වැටුණු මෙවැනි ග්රහක සහ උල්කාපාත මගින් විය හැකි බවය. රියුගු සහ බෙනු (Bennu) වැනි ග්‍රහකවලින් හමුවන මෙම කාබනික අණූ සාක්ෂි දරන්නේ මුළු සෞරග්‍රහ මණ්ඩලය පුරාම ජීවය බිහි කිරීමේ හැකියාව පවතින බවය.
නේචර් ඇස්ට්‍රොනොමි (Nature Astronomy) සඟරාවේ පළ වූ අධ්‍යයනය වාර්තාවකට අනුව, පෘථිවිය මත ජීවය ආරම්භ වීමට විශ්වීය දායකත්වයක් ලැබී ඇති බව පැහැදිලිය. මෙය පෘථිවියෙන් පිටත වෙනත් ග්‍රහලෝකවල හෝ චන්ද්‍රයන් මත ජීවය පැවතිය හැකිද යන කුතුහලය තවදුරටත් තීව්ර කරයි. සෞරග්‍රහ මණ්ඩලය යනු හුදෙක් ගල් හා වැලි වලින් පිරුණු තැනක් නොව, ජීවය බිහි කළ හැකි සරුසාර අමුද්‍රව්‍ය ගබඩාවක් බව දැන් විද්‍යාත්මකව තහවුරු වෙමින් පවතී.
ග්රහක (Asteroids) යනු සූර්යයා වටා කක්ෂගතව ගමන් කරන, ග්‍රහලෝකවලට වඩා ප්‍රමාණයෙන් කුඩා, පාෂාණමය හෝ ලෝහමය වස්තූන්ය. බොහෝ ග්රහක පිහිටා ඇත්තේ අඟහරු සහ බෘහස්පති ග්‍රහයන් අතර පිහිටි ග්රහක පටියේ (Asteroid Belt) ය මේවා සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමේදී ඉතිරි වූ ද්‍රව්‍යවලින් සෑදුණු අභ්‍යවකාශයේ නටබුන් ලෙස සැලකිය හැකිය. කුඩා ගල් කැටයක සිට කිලෝමීටර් සිය ගණනක් විශාල වස්තූන් දක්වා මේවා විවිධ ප්‍රමාණවලින් පවතී. ග්රහක ප්‍රධාන වශයෙන් සංයුතිය අනුව කොටස් තුනකට බෙදෙයි. C-type (Carbonaceous) යනු කාබන් බහුල, අඳුරු පැහැති ග්රහකය. S-type (Silicaceous) යනු සිලිකා හෝ පාෂාණමය ග්රහකය. M-type (Metallic) යනු නිකල් සහ යකඩ වැනි ලෝහවලින් සමන්විත ග්රහකය.
රියුගු සහ බෙන්නු හැර ද්යාඥයන් විසින් අධ්‍යයනය කර ඇති තවත් වැදගත් ග්රහක බොහොමයක් ඇත. එවැනි ග්රහකයක් වන්නේ සෙරස් (Ceres) ය. මෙය සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්රහක පටියේ ඇති විශාලතම වස්තුවය. එය කෙතරම් විශාලද යත් එය දැන් කුරු ග්‍රහයකු (Dwarf Planet) ලෙස වර්ග කර ඇත. වෙස්ටා (Vesta) යනු ග්රහක පටියේ ඇති දෙවන විශාලතම වස්තුවය. මෙය ඉතා දීප්තිමත් වන අතර පෘථිවියේ සිට පියවි ඇසින් බලද්දී පවා පෙනෙන එකම ග්රහකය වෙයි. ඉටොකාවා (Itokawa) යනු ජපානයේ හයබුසා 1 මෙහෙයුම මගින් නියැදි එකතු කළ පළමු ග්රහකයයි. මෙය තනි පාෂාණයක් නොව, කුඩා ගල් කැබලි එකතු වී සෑදුණු කසළ ගොඩක් වැනි ව්‍යුහයකි. සයිකි (Psyche) යනු අසාමාන්‍ය ලෙස ලෝහමය (ප්‍රධාන වශයෙන් යකඩ සහ නිකල්) ග්‍රහකයකි. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙය යම් කලකදී ග්‍රහලෝකයක් වීමට ගොස් බිඳී ගිය හරයක් බවයි. එරෝස් (Eros) නමින් නම් කළ ග්රහකය පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන ග්‍රහකයකි.
මීට අමතරව, සූර්යයා වටා දඟර කැවෙන අභ්‍යවකාශයේ ගැඹුරු නිහඬතාවය මැද, අඟහරු සහ බෘහස්පති ග්‍රහයන් අතර සැඟවුණු එක්තරා අද්භූත ග්රහකයෙක් අපේ විද්‍යාඥයන්ගේ සිත් දිනාගෙන තිබේ. එය නම් සයිකි (16 Psyche) ය. සාමාන්‍ය ග්රහක මෙන් මෙය ගල් හෝ අයිස්වලින් පමණක් නිර්මාණය වූවක් නොවේ. පෘථිවියේ වටිනාකම තක්සේරු කරන්නෙකුට හෝ පතල් කර්මාන්තකරුවෙකුට මෙය හුදෙක් ග්රහකයක් නොව, විශ්වයේ පවතින දැවැන්තම ලෝහමය නිධානයක් වැනිය. වසර ගණනාවකට පෙර, සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමේ මුල් අවධියේදී, ග්‍රහලෝකයක් වීමට ගොස් අසාර්ථක වූ 'ග්‍රහලෝක දරුණු' (Protoplanet) එකක හරය (Core) මෙම සයිකි ග්රහකය බව විද්‍යාඥයෝ විශ්වාස කරති. එනම්, පොළොවේ අභ්‍යන්තරයේ පවතින යකඩ සහ නිකල් වැනි අධි වටිනා ලෝහවලින් පමණක් මෙම ග්රහකය සමන්විතය.
ලයිව් සයන්ස් ඇසුරිනි

