එක්සත් ජාතීන්ගේ 72 වන මහ සැසිවාරය



 

“සකල ජගත් ජනතාවටම, එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, එහි විශේෂ ආයතනත්, අද කාලයේ දී තරම් අගනා දේ බවට පත් වු වෙන අන් කිසිම සමයක්, මීට පෙර තිබුණේ නොවේ.” 
ඉයන් බ්‍රෙමර් ජාත්‍යන්තර ප්‍රවණතා විචාරක 

 


සැප්තැම්බර් මස දහ නව වන දින නිව්යෝක් වේලාවෙන් අපරභාග පහට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්පූර්ණ සාමජික සංඛ්‍යාව වන රාජ්‍ය 193 නේ නියෝජිතයෝ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන මහා සම්මේලනවාරය සඳහා මහා ශාලාවේ අසුන් ගෙන උන්හ. 


72 වන සැසි වාරයේදී සභාපති පදවිය උසුලන ලද්දේ, ස්ලෝවැක් ජාතික මිර්සොලාව් ලෂාක් නම් ප්‍රවීණ පාලන තන්ත්‍රවේදියා විසිනි. ඒ මහතා මේ සභාපති පදවියට නිල වශයෙන් පත් කරනු ලැබුවේ 2017 සැප්තැම්බර් 12 වන දාය. එතුමාගේ සභාපති පදවිය වර්ෂයකට වලංගුය. (2018  සැප්තැම්බර්) 1963 මාර්තු මස 20 වැනිදා උපත ලද මිර්සොලාච් ලෂාක් මහතා පනස් හතර හැවිරිදිය. 72 සැසි වාරයේ දේශකයාණන් වේදිකා ගත වන තෙක් ලෝක පාලක රාජ්‍ය 193 ක නියෝජිතයෝ තියුණු ඇසින්, සියුම් මනසින් බලා සිටියහ. 


දේශන වාරය හිමි, රාජ්‍ය නායකයා ජගත් බල මණ්ඩලයේ අචල අවධානය ලබමින් වේදිකාවට එළඹියේය. 


සුදෝ සුදු වතින්, ගතින්, සිතින් යුතුව එහි එළඹියේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිමතානෝය. 


තෙවරක්ම, ඒ මහා සැසි වේදිකාවේ සිට ලෝකය අමතා සුපුරුදු ශ්‍රී ලංකා ජනපතිවරයා සිය හඬ අවදි කළේය. මේ 72 වන මහා සැසිවාරයේ, විවාදය සඳහා නිල තේමාවක් නියමිතව තිබිණි. ඒ මාතෘකා පාඨය මෙසේ විය. සුනිත්‍ය මිහිතලය නිවාස කොට ගෙන සිටින මුළු මහත් මානව වර්ගයාටම සාමය සහ යහපත් ජීවන රටාවක් ලබා දීම සඳහා ප්‍රයත්න දැරීම.


මෙවර පැවැත්වෙන හැත්තෑ දෙවන මහා සැසිවාරය, මුළු ලොවටම බොහෝ සේ වැදගත්ය, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි අවුරුදු හැත්තෑ දෙකක ඉතිහාසය මුළුල්ලේ, ලෝක සාමයට මේසා තර්ජන එල්ල වුණු අවස්ථාවක් නැති තරම්ය. 


දඟකාර කොලු ගැටයෙක්, අවට ගෙවල් වල වහලය ගැන නොතකා හිතුමනාපයේ අහස් කූරු උඩ යවන්නා සේ උතුරු කොරියාවේ නපුරු පාලකයා හිටි හැටියේ මිසයිල ඒ මේ අත යවන්නට පටන් ගෙන සිටියි. 


ඒ අමානුෂික සාම නාශක ක්‍රියාවේ යෙදෙන ගමන්ම, ඔහු සිත් කකියන වහසිබස් දොඩන්නේය. තමා ජපානය සාගරයේ ගිල්ලන බවටත් ඇමෙරිකාව අළු කරන බවටත් ඔහු නොබෝදා තර්ජනය කළේය. 


මහා සාගර අසරණයන්ගෙන් පිරුණේය. ඔවුහු සරණාගතව පළා ගොස් මරණාගත වෙති. ත්‍රස්තවාදීහු හැම තැනකටම විනාශය ගෙන යති. බි්‍රතාන්‍යයට පිට පිටම කිහිප විටක් ත්‍රස්තයෝ පහර දුන්හ. 


මෙවැනි ලෝකයක මානව වර්ගයා සතු එකම බලාපොරොත්තුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. 


මෙවර 72 වන මහා සැසිවාරයේදී මෙසේ ලෝක සාමයට එල්ල වී තිබෙන මහා අන්තරාය ප්‍රබල විවාදයට ලක් වෙයි. 
72 වැනි මහ සැසිවාරයේ විචිත්‍ර කෝඩු කාරයා 45 වන ඇමෙරිකානු ජනාධිපති තැන්පත් ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාය. 


මෙවර සැසිවාරයට සහභාගී නොවන ප්‍රධාන රාජ්‍ය නියෝජිතයකු නම් මියන්මාරයේ ඕං සාං සුකී මහත්මියයි.

මියන්මාරයේ රෝහීන්ගා ජන කොට්ඨාසයට අයත් පන් ලක්ෂයකටත් අධික පිරිසකට මියන්මාරයෙන් පළා යන්නට සිදුවීමේ අර්බුදය නිසා ඕං සා සුකී මහත්මිය මෙවර සැසි වාරයට සහභාගී නොවන්නීය. 


මානව ඉතිහාසයේ දැඩි අර්බුදකාරි මොහොතක, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 සැසිය, පැවැත්වෙන හෙයින් මේ බල මණ්ඩලයේ ප්‍රභවය සහ විකාශනය දෙස නෙතඟ බැල්මක් හෙළීම අත්‍යවශ්‍ය වේ. 


මානව වර්ගයේ දරුණුම ජන සංහාරයක් වුයේ, ප්‍රථම ලෝක මහා යුද්ධයයි. ඒ නපුරු අරගලය 1914 රේ සිට 1918 දක්වා පැවැත්තේය. 


මේ සංග්‍රාමයෙන් සිදු වු සිත් පාරණ හානිය දුටු ලෝක නායකයෝ ලෝක සාමය රකිනා පිණිස “ජාතීන්ගේ සංගමය” (ලීග් ඔෆ් නේෂන්ස්) පිහිටුවා ගත්හ. 


1919 යේදී සකස් වුණු ජාතීන්ගේ සංගමය අනුක්‍රමයෙන් පිරිහී ගියේය. 


එය පිහිටුවා අවුරුදු 20 කින් පසුව දෙවන ලෝක යුද්ධයේ විපත ආරම්භ වුයේය. එය පටන් ගත්තේ 1939 යේ සැප්තැම්බර් තුන් වනදායි. 


දෙවන ලෝක මහා සංග්‍රාමයේ සිදුවන, අමානුෂික ඝාතන හා දැවැන්ත විනාශයක් වළක්වා ස්ථාවර ලෝක මහා සාම සංවිධානයක් ස්ථාපිත කරන්නට එදා ලෝක නායකයෝ තීරණය කළහ. 


මේ අදහස මුලින්ම පළ කරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ, ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට් (1882-1945) ජනාධිපතිවරයා විසිනි. 


“ එක්සත් ජාතීන්ගේ සංවිධානය” (යුනයිටඞ් නේෂන්ස්) යන යෙදුම මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට භාවිත කරන ලද්දේ ඒ නායකයා විසිනි. ප්‍රංශයේ ඩි ගෝල් සේනෙවියාත් චීනයේ කායිෂේක මහතාත් රුසියාවේ ජෝසෆ් ස්ටාලින් මහතාත් බි්‍රතාන්‍යයේ වින්ස්ටන් චර්චිල් මහතාත්, රූස්වෙල්ට් ජනාධිපතිවරයාට සහාය වූහ. 


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා බලවතුන් පස් දෙනා වුයේ ඒ රාජ්‍ය පහයි. තාමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ප්‍රබලයන් වන්නේ ඒ පංච මහා රාජ්‍යයෝයි. 


දෙවන ලෝකයේ ගිනි දැල් පැතිර යද්දිම, මිත්‍ර රාජ්‍ය 50 ක නියෝජිතයෝ ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයෙහි රැස්ව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය කෙටුම්පත් කළහ. 


ප්‍රඥප්තියේ කෙටුම් පතට අත්සන් තබන අවස්ථාවෙහි, රාජ්‍ය 51 ක නියෝජිතයෝ, ඒ උත්සවයට සහභාගී වූහ. 
මානව වර්ගයේ මේ ප්‍රබල සිද්ධියට සිය දේශය කිට්ටුවෙන් සම්බන්ධ කරන්නට සිතා ගත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය ඒ නියෝජිතයන් අත්සන් තබන විට ඔවුන්ට වාඩිවෙන්නට කෞතුකාගාරයකින් පුටුවක් ගෙන්වා ගත්තේය. පුටුව ඇමෙරිකාවේ මහා දේශමාමකයකු වු වෙබ්ස්ටර් විසින් භාවිත කරන ලද්දකි. එහෙත් 1945 හේ ඇතැම් රාජ්‍ය නියෝජිතයන්ට ඒ ඓතිහාසික පුටුවේ ඉඳගත හැකි නොවීය. ඔවුන් එතරම් තරබාරු වු හෙයිනි. (ඉතිහාසයේ එවැනි පැතිද ඇත්තේය.) 


නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ දිනය වශයෙන් සම්මතව තිබෙන්නේ හැම වර්ෂයකම ඔක්තෝබර් 24 වනදාය. 
1945 හෝ ප්‍රඥප්තියෙන් පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ප්‍රධාන අංශ හයක් වේ. 


ඒ අංශ හය මෙසේය. 


1) මහා සම්මේලනය (සම්පූර්ණ සාමාජික සංඛ්‍යාවම හමු වන්නේ මෙහිදී පමණි.) 2) ආරක්ෂක මණ්ඩලය, 3) ආර්ථික හා සමාජික මණ්ඩලය, 4) ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලය (මෙහි ප්‍රධාන කාර්යාලය පිහිටියේ නෙදර්ලන්තයේ හේග්හිය.) 5) භාරකාර මණ්ඩලය සහ 6) ලේඛකාධිකාරය. (මහා ලේකම් පදවිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිතත් හදත් වැනිය.) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රබලතම පදවිය මහ ලේකම් තනතුරයි. 


මහ ලේකම් පදවි ධාරීන්ගේ නාම ලේඛනය 
1. ටි්‍රග්වි ලී (නෝවේ ජාතික)
2. ඩැග් හැමර්ෂ්ල්ඞ් (ස්වීඩන් වෘත්තියේ සිටියදීම අභාවයට පත් වූ එකම මහ ලේකම් වරයා) 
3. ඌ කාන්ට් (බුරුම බෞද්ධ)
4. කුර්ට් වොල්ඞ් හෛම් (ඕස්ටි්‍රයා)
5. හව්යේ පෙරේස් ද ක්වේය (පෙරූ)
6. බුත්‍රොස් බූත්‍රොස් ගාලි (මිසර) 
7. කොෆි අනන් (ඝානා) 
8. බන් කි මූන් (දකුණු කොරියා) 
9. අන්ටෝනියෝ ගුට්රේරිසි (පෘතුගීසි) 


වර්තමාන මහ ලේකම් එක්සත් ජාතීන්ගේ සංවිධානය සාර්ථක ද අසාර්ථක දැයි ඇතැම් හු විමසති. 


අවුරුදු හැත්තැ දෙකක් මුළුල්ලේ ලෝක සාමය රැක ගනිමින්, තෙවන ලෝක මහා යුද්ධයක ගිනි ජාලාවකින් මානව වර්ගයා ගලවා ගැනීම පමණක් වුවද එක්සත් ජාතීන්ගේ අසහාය සාර්ථක්තවයට ප්‍රබල නිදසුනකි. 


එක්සත් ජාතින්ගේ සංවිධානයේ විශේෂ ආයතන, මානව ජීවිතය සෑම අංශයක්ම රැක බලා ගනී. ළමා අරමුදල විසින් දාරක රෝග සුව කොට කෝටි සංඛ්‍යාවක් වු දරු පරපුරක ජීවිත බේරා ඇත්තේය. 


පාරිසරික ව්‍යාපෘතිය ජගත් සෞඛ්‍ය ආයතනය, යුනෙස්කෝ ආයතනය වැනි වැඩ සටහන් විසින් මිනිස් ජීවිතය සරුසාර කරනු පිණිස දරා තිබෙන දැවැන්ත ප්‍රයත්නය ඇති ප්‍රශස්තය. 


අවුරුදු 72 ක් පුරා විවිධ ගැටුම් කළ කෝලහාලදිය හට ගත්තත් ඒවාට ජගත් ව්‍යාප්ත යුද්ධ බවට පත් නොවන්නට ක්‍රම යේදීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉටු වු මෙහෙය හැම ජීවිතයෙකටම දැනෙන්නේය. 


සාකච්ඡා සම්මන්ත්‍රණ වැඩ මුළු මගින් අර්බුද නිරාකරණය කොට ගැනීමේ සංස්කෘතියක් මානව ප්‍රජාවට පුරුදු කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි. 


ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණය වැනි ව්‍යාපෘති මානව සමාජයේ අධ්‍යාත්මික උරුමයන් රැක දෙන ක්‍රමාවලියකි. 
ලොව පුරා ශ්‍රේෂ්ඨ නිධාන, මුළු මහත් මානව වංශයේම පොදු උරුම බවට පත් කොට ඒවා සනාතනික මානව දායාද බවට පරිවර්තනය කොට තිබෙන්නේත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි. 


මෙසේ දෙසැත්තෑවසක් පුරා මිනිස් වග රැක බලා ගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අද තවත් බැරෑරුම් තර්ජන පද්ධතියකට මුණ පාන්නට වී තිබේ. 


ඉන් ප්‍රබලතම ව්‍යසනය නම්, ඉවක් බවක් නැතිව, සාම විරෝධී අවි මානව වංශයට එල්ල කරමින් විනෝද වන, නොමිනිස් බලකාමින්ගේ අමානුෂික ක්‍රියා පද්ධතියයි. 


එවැන්නන්ගෙන් මානව වර්ගය ගලවා ගන්නා ප්‍රතිඵලදායි, වැඩි ප්‍රතිපත්ති මාලාවක් මේ දෙසැත්තෑවන මහා සැසිවාරයේ විසින් සකස් කොට ගත හැකිවේ නම් එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉටු වන පූජනීය මෙහෙයක් වශයෙන් සැලකෙනු ඒකාන්තය. 


අද ලොව සුළි සුළං භූ කම්පන, නාය යෑම් වැනි ස්වාභාවික විපත් නිසා සිදු වන හානිය පෙරට වඩා බොහෝ සේ අධිකය. මක්නිදයත්, නාගරිකරණයත්, නව ජනපද තැනීමක් අද මීට ඉහත යුගයන්හි සිදු වූවාට වැඩි වේගයකින් කෙරී ගෙන යන හෙයිනි. 


එවැනි ආපදා වලට මූණ පාන්නට පොදු මානව සමාජය උදෙසාම යම් කිසි ජගත් මට්ටමේ වාරක උපක්‍රම සෙවිය යුතු කාලය එළඹ තිබේ. 


ජීවිත පරදුවට තබා සහනය, නිදහස සොයා යන සංක්‍රමණිකයන් රැක ගැනිමේ වගකීමද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් භාරගත යුතුව ඇත්තේය. 


ඊටත් වඩා ඉහළින් තැකිය යුතු තවත් පැත්තක් වේ. 


වසර හැත්තෑ දෙකක් මුළුල්ලේ මානව වර්ගයේ මහා යුද්ධයකට බිලි වීම වළක්වා ගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳව, ලොව ළමා වැඩිහිටි කා විසිනුත් ඉතා පෘථුල අවබෝධයක් ලද යුතුව ඇත්තේය. ඒ මගින් මෙම ජගත් බල මණ්ඩලයේ ඉටු වන මානව සුභ සිද්ධිය හොඳින් හඳුනා ගෙන ඉන් සිය ජීවිත අලංකාර කොට ගන්නට හැම පරපුරකටම උගන්වාලිය යුතු වේ. 


අවුරුදු ලක්ෂ ගණනක් මුළුල්ලේ මානව සමාජයේ වැඩුණු සියලු “දොස්” එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිමේෂයකින් ඉවත් නොකළේ යැයි චෝදනා කිරීම අසාධාරණය. 


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉතිහාසය මුළුල්ලේ, ඇතැම් ප්‍රවීණයෝත් එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙස අශුභවාදීව බැලුහ. 


ෆිලිපීන දේශයේ සිටි කාලෝස්නම් පාලන තන්ත්‍රවේදියෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ “ඉරණම” ප්‍රකාශ කළේ මෙසේය. 


එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ වරප්‍රසාද අඩු ජාතීන් දෙකක් අතර අර්බුදයක් හට ගත හොත් ඒ අර්බුදය ඉවත් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී මහා ජාතියකුත් කුඩා ජාතියකුත් අතර අර්බුදයක් හට ගත හොත් කුඩා ජාතිය නැති වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ එක් මහා ජාතියකුත් තවත් මහා ජාතියකුත් අතර අර්බුදයක් උද්ගත වුවොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නැති වී යේ. 


අබා ඒවාන් නම් ඉස්රායෙලීය පාලන තන්ත්‍රවෙදියෙකු විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන පවසන ලද්දේ මෙයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැස්සක් වහින විට හැකිළෙන කුඩයක් වැනිය. 


මෙවැනි අශුභවාදී දර්ශන හා ප්‍රකාශ කොපමණ තිබුණද මැදහත් හැම දෙනෙකු විසින්ම පැහැදිලිව දකින්නේ, ප්‍රබලතම අර්බුද සහිත අවුරුදු දෙසැත්තෑවක් මුළුල්ලේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අති සාර්ථක ලෙස මානව සංහතිය ගලවා ගෙන තිබෙන බවයි. මේ අනුව මේ දින වල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හැත්තා දෙවන වර්ෂය උදෙසා එක් රැස්ව සිටින ජනනේතෘවරුන් විසින් අද මානවයා හමුවේ පවත්නා අනේකවිධ අර්බුද හා ගැටලු විශිෂ්ට ලෙස නිරාකරණය කොට මේ සන්සුන් දිවි පෙවෙතකට කැමති අහිසංක ලෝකයාට සාමකාමී සහජීවනය කරා යන මංගල මාර්ගයක් සපයා දෙනු ඇතැයි ලෝකයා බලාපොරොත්තු වේ. 


 

ගිනස් වාර්තා පොතට ගිය බළලා

වාර්ෂික ගිනස් ලෝක වාර්තා පොතේ 2017තේ ප්‍රකාශනයේ අපූරු පුවතක් සඳහන්වේ. ඒ අලුත්ම කතාව බළලෙකු ගැනයි. මේ බළලා ලෝකවාර්තාවක් පිහිටුවා සිටින්නේය. 


ඒ අද ලොව දිගම වලිගය සහිත, බළලා හැටියටයි. එක් අවුරුදු රාත්තල් 15 ක් බරැති මේ බළලාගේ වලිගයේ දිග අඟල් 18.4 (අඩියයි අඟල් 6.4 යි) මේ ජයග්‍රාහී බළලා ගේ සුරතල් නම ‘සිග්නස්’ ය. ගෙදරක ඇතිකරන බළලුන් අතර දිගම වලිගය සහිත වීමෙන් ගිනස් වාර්තා පොතට ඇතුල්වී සිටින ‘සිග්නස්’ වාසය කරන්නේ, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ මිචිගන් ජනපදයේයි. මේ ජගත් වාර්තා පිහිටුවාලූ ‘සිග්නස්’ බළලාගේ අයිතිකාරයා වෛද්‍ය විල් පවර්ස්ය. සිය සුරතල් බළලා තාමත් වැඩෙමින් සිටීයැයි වෛද්‍ය විල්ස් කියයි.


 

පර්සියාවේ රූමිගේ “මත්නාවී” යන්ත්‍රය

‘මත්නාවී’ යනු පර්සියානු බසින් ලියැවුණු ගැඹුරු පද්‍ය කාව්‍යයකි. මේ පොතේ කර්තෘවරයා ජලාල් ඇඞ්ඩින් මුහම්මඞ් රූමි නමින් හැඳින්වේ. ඇතැම් විටෙක ඔහුගේ නම ජලාල් උඞ්ඩීස් රූම් වශයෙන්ද කියවේ.


පර්සියාවේ විසු ඉතා සුප්‍රසිද්ධ කවියෙකු වූ ඔමාර් ඛ්‍යාම් විසින් ‘රුබයියාට්’ නම් පද්‍ය සංග්‍රහයක් කරන ලදී. එහි ‘රුබයියාට්’ යන්නෙන් නම් කරනු ලබන්නේ සී පද කවියි.


පර්සියානු කවියෙකු වූ රූමිගේ පොතේ නම ‘මත්නාවි’ ය. මත්නාවි නම් වචනයේ තේරුම ‘දෙපද කවි’ යන්නය.
රූමි උපත ලබුවේ 1207 සැප්තැම්බර් තිස්වනදායි ඔහුගේ අභාවය සිදුවූයේ 1273 දෙසැම්බර් 17 වනදායි පද්‍යමය නිර්මාණ උපදේශ්‍යාත්මකය. රූමිගේ කාව්‍ය ප්‍රබන්ධ ලෝකයේ නොයෙක් භාෂාවලට පරිවර්තනය කෙරිනි. රූමි, වර්තමාන ඇමfරිකා එක්සත් ජනපද රාජයේත් තරමක ජනප්‍රියයි. ඔහුගෙ දෙපද කවි, ආගමික ශ්‍රද්ධාවටද නැඹුරුය, ඔහුගේ පද්‍ය රචනයන්හි අරමුණ වන්නේ සැදැහැවතුන්ගේ ආධ්‍යාත්මය දියුණුකොට ඔවුන් ශාන්තුවරයන් බවට පත් කිරීමයි.


ජලාල් උද්දීන් රූමිගේ ඉතා ප්‍රසිද්ද නිර්මාණයක මහා උගතෙකි. ඔහු ව්‍යාකරණය පිළිබඳව විශේෂඥයෙකි.
මේ උගතා, තොටුපළකට ගොස් ඔරුවකට නැගුණේය.


පණ්ඩිතයා ඔරුව පදවන්නා දෙසට හැරුණේය. ඔහු ඔරුව පදවන්නාගෙන් මෙසේ විමසීය. ‘නුඹ කිසිකලෙක ව්‍යාකරණ උගෙන ගෙන තිබෙනවාද?’


‘නැතැයි’ ඔරුකාරයා පිළිතුරු දුන්නේය. 


එවිට පණ්ඩිතයා ඔහුට මෙසේ කීයේය.


එසේ නම් නුඹගේ ජීවිතයෙන් හරි අඩක්ම නාස්තිවෙලා’


ඔරුකාරයාට, තමා ගැනම, මහ දුකක් ඇතිවිය එහෙත්, ඔහු වචනයක්වත් කතා කළේ නැත.


මේ අතර ඔරුව දැඩි කුණාටුවකට අසු වූයේය. 


ඔරුකාරයා පණ්ඩිතයාට කෑ ගැසීය.


’පඩිතුමනි ඔබ පීනන්නට දන්නවාද’


‘නැතැයි’ පඩිතුමා කීයේය.


එවිට ඔරුකාරයා මෙසේ කීය ‘අහෝ ව්‍යාකරන පඩිතුමනි. එසේනම් ඔබතුමාගේ මුළු ජීවිතයම නාස්ති වෙයි. ඔරුව කද කුණාටුවකට අසුවෙලා ගිලෙනවා’


 

 

කෙසෙල් වනයේ තවුසා

 

බටහිර දියුණු දේශයක සංචාරකයෙක්, අප්‍රිකාවේ තන්සානියා රාජ්‍යයට ආයේය. ඔහු නවාතැන් ගෙන සිටියේ සුඛෝපභෝගී හෝටලයකයි. උදේ ආහාරය භුක්ති විදි සංචාරකයා තුළ ආශාවක් පහළ වූයේය. අප්‍රිකානු කෙසෙල් ගෙඩිවල (බනානාවල) රස බැලීය යුතුයැයි ඔහුට සිතුණේය. ඔහු හෝටලයෙන් නිකුත්ව මඟදිගේ ඇවිද්දේය. මඟ දෙපස කිසිම ආපනශාලාවක කෙසෙල් ගෙඩි තිබුනේ නැත. විස්මයට පත් ඔහු, මහ මගින් ඉවත්ව ටිකක් තැන් ගියවිට ඔහුට මහ සතුටක් දනවමින්, මඟ අයිනේ දැවැන්ත කෙසෙල් වගාවක් විහිදීයේය. ඔහු වගාවේ ඇවිදින විට ඔහුට නොයෙක් විදියේ කෙසෙල් ගස් පෙනුණේය.


ඉන් සමහරක ළපටි කෙසෙල් කැන් තිබින. තවත් ඒවායේ මුහුකුරා ගිය කැන් දැකිය හැකිවිය. බොහෝ තැන්වල හොඳට ඉදුනු කැන් සහිත කෙසෙල් ගස්ද වූයේය. අවසර නැතිව ඒවා කෑම අයහපත්යැයි සිතූ සංචාරකයා අයිතිකාරයෙක් සිටීදැයි සෙව්වේය.


කෙසෙල් යාය තුළ ඇවිද්ද නමුත් කාර්යාලයක් හෝ කෙසෙල් හිමියෙකු හෝ හමුවූයේ නැත.


තව ටික තැනක් ගමන් කළ විට, ඔහු දුටුවේ විශාල කෙසෙල් ගසකට පිටදී, නිදිපත්ව සිටි තැනැත්තෙකි. සංචාරකයා ඔහු සමීපයට යන විට ඔහු ඇස් අර අවදි වූයේය. 


‘මේ කෙසෙල් යාය හිමියා ඔබද?’ 


ඔව්. මම ඇයි මොකද’ යි ඇස් ඇරී තැනැත්තා විමසුවේය.


‘මට කෙසෙල් ගෙඩි කීපයක් ඕනෑ. ගණන කියද?’


‘කියක්වත් ඕනෑ නෑ. ඔබ කැමති ප්‍රමාණය ගන්නැ’ යි කෙසෙල් හිමියා පිළිවදන් දුන්නේය.


 ගෙඩි කීපයක් කන ගමන් සංචාරකයා බනානා යාය හිමියා සමඟ කතා - බහට  වැටුණේය.


‘ඔබ මෙපමණ කෙසෙල් කැන් තිබියදී ඒවා පොළට ගෙන ගොස් අලෙවිකරන්නේ නැත්තේ ඇයි?’


‘ඒ මොකටදැයි’ ය කෙසෙල් හිමියා ඇසීය.


‘ඉන් මුදල් ලැබෙනවා නේ’ සංචාරකයා කීය’


‘ඊට පස්සේ?’ කෙසෙල් වගාකරු අසුවේය.


‘ඒ මුදල්වලින්, මේ කෙසෙල් රට යවනවා , එවිට විශාල ධනස්කන්ධයක් උපදිනවා’


‘ඊට පස්සේ’


ඉන් පසුව ලොකු මන්දිරයක් තනා ගන්නවා’


ඊටත් පස්සේ’ ඊට වාහන ගෙන ඇවිදිනවා’ 


‘ඉන් පසුව’ 


එහෙම ඉඳලා විවාහ වෙනවා’


‘විවාහ වුණාට පස්සේ?’


‘දරු මුණුපුරෝ ඇති වෙනවා’


ඔවුන් ඇති වුණාම’


ඔවුන් ඇති වුණාම ඔවුන්ගේ සුරතල් බලමින්, සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සතුටෙන් ඉන්නවානේ’ සංචාරකයා කීයේය.


කෙසෙල් හිමියා මහ හයියෙන් හිනා වුණේය. මහත්තයා මෙය වැල් වටාරම් නැතිව, දැනුත් මා කෙසෙල් ගස යට ඉන්නේ මහ සතුටින්’ සංචාරකයාට වචන නැත.


 

 

සිංගප්පූරු ජනාධිපති පදවිය කාන්තාවකට

සිංගප්පූරු පෞර රාජ්‍ය නිදහස ලබා දැනට අවුරුදු පණස් දෙකයි. ඒ දේශයේ ඉතිහාසයෙහි ප්‍රථමවරට කාන්තාවක් එහි ජනාධිපති පදවියට පත්ව සිටින්නීය. 


සිංගප්පූරුවේ ජනාධිපතිනි, හැටතුන් හැවිරිදි හාලීමා යාකොබ් මහත්මියයි. සිංගප්පූරුවේ පාර්ලිමේන්තුවේ කතානායක පදවියෙහි සිටි හලීමා යාකොබ් මහත්මිය, ජනාධිපතිනිය වූයේ නිතරඟයෙනි. වර්ග කිලෝමීටර් 720 ක සිංගප්පූරු රාජ්‍යයේ ජනගහණය පනස්පන් ලක්ෂයකි. ඒක පුද්ගල ධන ප්‍රමාණයෙන් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයටත් බි්‍රතාන්‍යයටත් ඉහළින් සිටිනා සිංගප්පූරු දේශයේ ජනාධිපති පදවිය එතරම් රාජ්‍ය කටයුතු නොමැති එහෙත් ඉතා ඉහළ තනතුරකි.

 


RECOMMEND POSTS