’මොඩර්නා’ එන්නතට අනුමැතිය



‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව ඇමෙරිකාවේ ‘මොඩර්නා’ ජෛව තාක්ෂණ සමාගම නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නතට, ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවී ඇත.

 

ඒ අනුව, ඉදිරියේදී ‘මොඩර්නා’ එන්නත ද ඇමෙරිකානුවන්ට ලැබෙනු ලැබීමට නියමිත යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මේ වනවිටත්, ඇමෙරිකානුවන්ට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව, ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දීම සිදුවෙයි.

එම එන්නත ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම හවුලේ නිපදවන ලද්දකි. ‘ෆයිසර්’ එන්නත ද ඇමෙරිකානුවන්ට ලබා දීම සිදුවන්නේ, එරට ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවීමෙන් පසුවය.

ඇමෙරිකාව තුළ ආහාර සහ ඖෂධ බෙදා හැරීම සිදුවන්නේ, ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය හරහාය. එහෙයින්, කොරෝනා වයිරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් සඳහා ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය අවශ්‍ය වෙයි.

කෙසේ නමුත්, ‘මොඩර්නා’ එන්නතට හෝ ‘ෆයිසර්’ එන්නතට හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් හිමිවී නැත. ‘මොඩර්නා’ සහ ‘ෆයිසර්’ එන්නත කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩි අවධානයක් යොමු වී ඇති බවත්, දිළිඳු රටවලට ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත් පහසු මුදලකට ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වී සාකච්ඡා ආරම්භ කර ඇති බවත් විදෙස් පුවත් සේවා පවසයි.

‘ෆයිසර්’ එන්නත ඇමෙරිකානුවන්ට ලබා දීම සිදුවන්නේ, වයිරස වසංගතය හමුවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරමිණි. ‘ෆයිසර්’ එන්නත පළමුවෙන් ලබා දීම සිදුවූයේ, ඇමෙරිකාවේ ඉදිරි පෙළ සෞඛ්‍ය අංශ සාමාජික සාමාජිකාවන්ට සහ වැඩිහිටි පුද්ගලයන්ටය. තවමත් ලොව වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ යනු ආර්.එන්.ඒ. වර්ගයේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලෙස සැලකෙයි. මෙහිදී සිරුරේ ප්‍රතිශක්තිය ඇති කිරීමට, වයිරසයේ ජානමය කොටසක් ඇතුළු කෙරේ. එන්නත් දෙකම, මාත්‍රා දෙකකින් සමන්විත වන අතර, දෙවැනි මාත්‍රාව ලබා දීමෙන් පසු වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිය සිරුරේ නිර්මාණය වෙයි.

‘ෆයිසර්’ එන්නතේ පළමු මාත්‍රාව ලබා දී, දින 21 කින් දෙවැන්න ලබා දෙන අතර, ‘මොඩර්නා’ එන්නතේ පළමු මාත්‍රාව ලබා දී සති 4 කට පසු දෙවැනි මාත්‍රාව ලබා දෙයි. වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, ‘ෆයිසර්’ එන්නත සියයට 90 ක් සාර්ථක වන නමුත් ‘මොඩර්නා’ එන්නත සියයට 95 ක් සාර්ථක බව පැවැසෙයි.

‘ෆයිසර්’ එන්නත හෝ ‘මොඩර්නා’ එන්නත හෝ නිවසේ ශීතකරණය තුළ ගබඩා කළ නොහැකිය. ‘ෆයිසර්’ එන්නත ගබඩා කළ යුතු වන්නේ සෙල්සියස් අංශක රින 75 ක උෂ්ණත්වයක් යටතේය. ‘මොඩර්නා’ එන්නත සෙල්සියස් අංශක රින 25 ක උෂ්ණත්වයක් යටතේ මාස 6 ක් තිස්සේ ගබඩා කර තැබිය හැකිය.

‘මොඩර්නා’ එන්නත නිපදවා ඇති ‘මොඩර්නා’ සමාගම කේම්බ්‍රිජ් සහ මැසචුසෙට්හි පිහිටයි. ‘ෆයිසර්’ එන්නත ජර්මනියේ පමණක් නොව බෙල්ජියමේ ද නිපදවීම ආරම්භ කර තිබේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS