‘වැග්නර්’ ප්‍රධානියා බෙලරූස් රාජ්‍යයට



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට, රුසියන් රජයට සහ හමුදා ප්‍රධානීන්ට අභියෝග කළ එරට ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගිනි ප්‍රියෝජින් රුසියාවෙන් පිටුවහල් වූවකු ලෙස අසල්වැසි බෙලරූස් රාජ්‍යයට පැමිණියේය.

ප්‍රියෝජින්, සිය ‘වැග්නර්’ කුලී හේවායන් මෙහෙයවමින්, කැරැලි ගැසුවේ පසුගිය සති අන්තයේය. කෙසේ නමුත් පැය 24 ක් යද්දී එම කැරැල්ල අවසන් විය.

ඒ, බෙලරූස් රාජ්‍යයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මැදිහත් වී ප්‍රියෝජින්, සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවය. බෙලරූස් රාජ්‍යය, රුසියාවටත් යුක්රේනයටත් මායිම්ව පිහිටා ඇති අතර, බෙලරූස් ජනාධිපති ලුකෂෙන්කෝ, රුසියන් ජනාධිපති පුටින්ගේ සමීපතමයෙකි. විරසක වීමට පෙර ප්‍රියෝජින් සහ පුටින් ද සමීප මිතුරන් වූහ.

ප්‍රියෝජින් මෙසේ රුසියාවෙන් පිටුවහල් වී, බෙලරූසය බලා පැමිණියේ රුසියන් ජනාධිපතිවරයා සමඟ ගිවිසුමක් ඇති කර ගනිමිනි. එම ගිවිසුම අනුව, ප්‍රියෝජින් සහ ඔහුගේ ‘වැග්නර්’ සාමාජිකයන්ට එරෙහි රුසියන් රජය ගොනු කළ අපරාධ චෝදනා ඉවත දැමෙනු ඇතැයි පැවැසෙයි.


RECOMMEND POSTS