‘කොවිඩ් 19’ නව විකෘතිය ඉන්දියාවටත් ඇවිල්ලා

‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ ව්‍යාප්තියත් සමඟ මහා බ්‍රිතාන්‍යයෙන් පළමු වරට හඳුනා ගත් ‘එක්ස්.ඊ’ නමැති ‘කොවිඩ් 19‘ විකෘති ප්‍රභේදය ඉන්දියාවේ මුම්බායි නුවරට ව්‍යාප්ත වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මුම්බායි සෞඛ්‍ය බලධාරීන් පවසන අන්දමට, මුම්බායි නුවරින් හමුවුණු ‘එක්ස්.ඊ’ විකෘතිය ආසාදිත රෝගියා අවුරුදු 50 ක් වයසැති කාන්තාවකි. වෘත්තියෙන් ඇදුම් නිර්මාණ ශිල්පිණියක වන ඇය පසුගිය දා දකුණු අප්‍රිකාවේ සංචාරයකින් පසු යළි මුම්බායි බලා පැමිණ තිබේ.
මෙම කාන්තාව පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා පමණක් නොව, සිවුවැනි එන්නත් මාත්‍රාව ද ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ. ඊට අමතරව, මෙම කාන්තාව කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව ද පැවැසෙයි. ඇය අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කෙරුණු තැනැත්තියක බව සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ.
ඇයගෙන් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමේ දී ඇය ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වුණු බවත්, වැඩිදුර පරීක්ෂණ කරද්දී, ඇයට ආසාදනය වී ඇත්තේ ‘කොවිඩ් 19 එක්ස්.ඊ’ විකෘතිය බව අනාවරණය වූ බවත් මුම්බායි සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
‘එක්ස්.ඊ’ වයිරස විකෘතිය ඉන්දියාවෙන් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.
‘එක්ස්.ඊ’ යනු, ‘ඔමික්‍රෝන්’ වයිරස විකෘතියේ උප ප්‍රභේද වන ‘බී.ඒ1’ සහ ‘බී.ඒ2’ මුසුවීමෙන් නිර්මාණය වූ නව විකෘතියකි. එක්සත් රාජධානියේ ‘එක්ස්.ඊ’ විකෘතිය ආසාදනය වූ රෝගීන් 800 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙයි. ‘එක්ස්.ඊ’ විකෘතියේ ව්‍යාප්තිය, ‘ඔමික්‍රෝන්’ වයිරසටත් ‘ඔමික්‍රෝන්’ උප ප්‍රභේදවලටත් වඩා වේගවත් යැයි ද මහා බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.
‘එක්ස්.ඊ’ විකෘතිය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී ඇත. ඊට හේතුව ‘ඔමික්‍රෝන්’ හෝ ‘ඔමික්‍රෝන්’ උප ප්‍රභේද මෙන් නොව, ‘එක්ස්.ඊ’ ආසාදිතයන්ට රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදුවන බැවිනි. ‘එක්ස්.ඊ’ විකෘතිය සංකූලතා ඇති කරන වයිරස විකෘතියක් බව මේ වනවිට තහවුරු වී තිබේ.
(එන්.ඩී.ටීවී.)

