ළැව් ගිනි සමුළුවට බ්‍රසීල ජනාධිපති නෑ

ඇමසන් වැසි වනාන්තරයේ පැතිරෙන ළැව් ගිනි පිටුදැකීම සම්බන්ධයෙන් ඇමෙසන් වැසි වනාන්තරයට අයත් ලතින් ඇමෙරිකා රටවල රාජ්‍ය නායකයන්ගේ එකමුතුවෙන් ළැව් ගිනි වැළැක්වීමේ සමුළුවක් පැවැත්වීමට නියමිත නමුත් ඊට බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ සහභාගී නොවනු ඇතැයි පැවැසෙයි.
බ්‍රසීල ජනාධිපතිවරයා මෙම කලාපීය සමුළුවට සහභාගී නොවන්නේ ඔහු හර්නියා සැත්කමකට භාජන වීමට නියමිත නිසා යැයි ජනාධිපතිවරයාගේ ප්‍රකාශක බ්‍රසීල මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ. ඇමසන් ළැව් ගිනි පිටුදැකීමේ කලාපීය සමුළුව පැවැත්වීමට නියමිතව ඇත්තේ කොලොම්බියාවේය.
අන්ත දක්ෂිණාංශික ජනාධිපතිවරයකු වන ජාර් බොල්සරානෝ, ජනපති ධුරයට පත් වූයේ 2018 ජනාධිපතිවරණයෙනි. 2018 මැතිවරණ රැළියකට සහභාගී වී ජනතාව අතරට ගොස් සිටිද්දී, බොල්සරානෝ ප්‍රතිවාදියකුගේ පිහි ප්‍රහාරයකට ලක් විය. උදරයට එල්ල වූ එම පිහි ප්‍රහාරයෙන් බඩවැල්වලට දරුණු ලෙස තුවාල සිදුවිය. බොල්සරානෝ කඩිනමින් රෝහල් ගත කළ අතර, වෛද්‍යවරුන් කඩිනමින් ක්‍රියාත්මක වූ නිසා ඔහුගේ දිවි බේරා ගැනීමට හැකියාව ලැබුණි. ඒ, සඳහා ද පැය කීපයක සැත්කමක් සිදු කෙරුණි. බොල්සරානෝ ජනපතිවරණය ජය ගැනීමට එක් හේතුවක් වූයේ ද මෙම පිහි ප්‍රහාරය යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ජනපති ධුරයට පත් වීමෙන් පසු බොල්සරානෝ තවත් උදරයේ සැත්කම් තුනකට භාජන විය. ඉදිරියේ දී සිදු කිරීමට නියමිතව ඇත්තේ සිවුවැනි සැත්කමය. සැත්කම ලබන ඉරිදා (8) සිදු කිරීමට නියමිත අතර, සිකුරාදා (6) සිට ජනපති බොල්සරානෝට ලබා දෙනු ඇත්තේ දියර වර්ග පමණි. සැත්කමින් පසු දින 10 ක් රොහලේ සිටීමට ජනපති බොල්සරානෝට වෛද්‍ය උපදෙස් ලැබී ඇති හෙයින්, ඔහුට ළැව් ගිනි පිටුදැකීමේ සමුළුවට සහභාගී වීමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි බ්‍රසීල පුවත් සේවා වාර්තා කර තිබේ.
ලතින් ඇමෙරිකා රටවල් කිහිපයක් පුරා ඇමසන් වැසි වනාන්තරය පැතිරී පවතී. එයින් සියයට 60 ක ප්‍රමාණයක් අයත් වන්නේ බ්රසීලයටය. ළැව් ගිනි පැතිරෙන්නේ ද බ්‍රසීලයට අයත් ඇමසන් වැසි වනාන්තරයේය. බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ, බ්‍රසීල ආර්ථිකය නැංවීමේ අරමුණ ඇතිව, සමාගම් රැසකට හිතුමතේ ගස් කපා දමමින් ඇමසන් වැසි වාන්තරය එළිපහෙළි කිරීමට, ගිනි තැබීමට අවසර දී ඇත. රන් ආකර රැසක් ද ඇමසන් වනාන්තරය ආශ්‍රිතව පවතී. ළැව් ගිනි පැතිර යෑම වේගවත් වී මහා විනාශයක් සිදුවෙමින් පවතින්නේ ජනපතිවරයා ගත් මෙම අනුවණ තීරණය නිසා යැයි පරිසරවේදීහු චෝදනා කරති.
ජාත්‍යන්තරයෙන් එල්ල වන පීඩනය හමුවේ, ඇමසන් වැසි වනාන්තරය ආශ්රිත ඉඩම් එළිපෙහෙළි කිරීම සහ ගිනි තැබීම දින 60 ක කාලයකට තහනම් කිරීමට ජනාධිපති ජාර් බොල්සරානෝ පියවරගෙන තිබියදී පවා පෙරේදා (2) දිනයේ බ්‍රසීලයෙන් වාර්තා වූයේ ඇමසන් වනාන්තරය ආශ්‍රිතව නව ළැව් ගිනි 3,859 ක් හටගෙන ඇති බවය.
සාඕ පාවුලෝහිදීය (ඒ.එෆ්.පී.)

