ළැව් ගිනි නිවන්න ඩොලර් මිලියන 43 ක්

ඇමසන් වනාන්තරයේ පැතිරෙන ළැව් ගිනි නිවා දැමීමට, බ්‍රසීල රජයට ඇමෙරිකන් ඩොලර් මිලියන 40 ක මුදලක් ලබා දීමට, ‘ජී7’ ලෝක නායකයෝ කැමැත්ත පළ කර තිබේ.
‘ජී7’ හෙවත් ලොව ප්‍රබල ආර්ථිකයන්ට හිමිකම් කියන රාජ්‍ය නායකයන්ගේ සමුළුව පසුගිය සති අන්තයේ ප්‍රංශයේ පැවැත්වුණු අතර, මෙවර ‘ජී7’ සමුළුව මෙහෙයවූයේ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ය.
ප්‍රංශ ජනාධිපති මැක්රොන් මැදිහත් වී, ඇමසන් ළැව් ගිනි නිවීමට අවශ්‍ය මූල්‍යමය සහ තාක්ෂණික සහාය බ්‍රසීල රජයට ලබා දිය යුතු යැයි සෙසු ලෝක නායකයන් කැමැති කරවා ගත්තේය.
ඒ අනුව, ‘ජී7’ නායකයන්ගේ එකමුතුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 20 ක් ද, බි්රතාන්යය සහ කැනඩාව පිළිවෙළින් ඇමෙරිකන් ඩොලර් මිලියන 12 ක් සහ 11 ක් බැගින් ද බ්‍රසීල රජයට ලබා දීමට නියමිතය. ඊට අමතරව, කැනඩාව පවසා ඇත්තේ ගිනි නිවීම සඳහා වතුර බසින ඔවුන්ගේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානා බ්‍රසීලයට යවන බවය.
මේ වනවිටත් ඇමෙරිකා සහ රුසියා ගිනි නිවන හමුදා ගුවන් යානා බොලීවියාව දෙසින් ඇමසන් වනාන්තරයේ ළැව් ගිනි නිවා දැමීම සිදු කරයි.මේ වනවිට ජගත් පරිසර සුරැකීමේ සංවිධාන මැදිහත් වී ඇමෙරිකන් ඩොලර් බිලියනයක මුදලක් ඇමසන් වනාන්තරය ආරක්ෂා කිරීම සඳහා බ්‍රසීල රජයට ලබා දී ඇතැයි ද පැවැසෙයි.
පෘථිවියේ ජීව නාළිය ලෙස සැලකෙන ඇමසන් වනාන්තරය ලතින් ඇමෙරිකා රටවල් කීපයක් පුරා පැතිරී පවතී. එයින් සියයට 60 ක ප්‍රමාණයක් අයත් වන්නේ බ්රසීලයටය. ළැව් ගිනි පැතිර යන්නේ බ්‍රසීලයට අයත් ඇමසන් වනාන්තරයේය. ඇමසන් වනාන්තරයේ ළැව් ගිනි හට ගැනීම පසුගිය වසරවලට වඩා මෙම වසරේ උත්සන්න වී ඇත. ඒ, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. ඉකුත් සති අන්තය වෙද්දී අලුතින් ළැව් ගිනි 1,113 ක් හටගෙන ඇති බවට වාර්තා වූ බව පරිසර සංවිධාන පැවැසීය.
බ්‍රසීලියාහිදීය (රොයිටර්ස්)

