හොංකොං විරෝධතාකරුවන්ට ඇමෙරිකාවේ සහාය

හොංකෝ පාලක මණ්ඩලයට එරෙහිව විරෝධතා පවත්න ප්රජාතන්ත්රවාදී විරෝධතාකරුවන්ට ඇමෙරිකාවේ සහාය ලබා දීමේ පනත් කෙටුම්පතට ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් අත්සන් තැබුවේය.
ජනපතිවරයා පනත් කෙටුම්පතට අත්සන් තැබුවේ, ඊට ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුව) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ඒකමතිකව හිමිවීමත් සමඟය. පනත් කෙටුම්පත සකස් කිරීම සිදුවූයේ ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්දේශවලට අනුවය.
හොංකොං යනු චීනයට අයත් ස්වං පාලන ප්රදේශයකි. හොංකොං පාලනය වන්නේ පාලක මණ්ඩලයකිනි. හොංකොං හි පාලිකාව ලෙස එම ධුරය හොබවන්නේ කැරී ලෑම් ය.
හොංකොං පාලක මණ්ඩලය චීන හිතවාදීන්ගෙන් සැදුම්ලද්දකි. එහෙයින්, ඇමෙරිකාව හොංකොං විරෝධතාකරුවන්ට සහාය දැක්වීම සම්බන්ධයෙන් නව නීති සකස් කිරීම චීන රජයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇතැයි ද වාර්තා වේ.
චීනයත් ඇමෙරිකාවත් අතර වෙළෙඳ යුද්ධයක් පවතින අතර දෙරට එකිනෙකාට තීරු බදු පැනැවීම් කර තිබේ. ඒ සම්බන්ධයෙන් දෙරටේ නියෝජිතයන් සාකච්ඡා පවත්වමින් සිටින නමුත් තවමත් පැහැදිලි විසඳුමකට පැමිණ නැත. එහෙයින් ඇමෙරිකාව, විරෝධතාකරුවන්ට සහාය දීමට තීරණය කිරීම ඇමෙරිකාව සහ චීනය අතර පවතින අර්බුදය උත්සන්න කිරීමට හේතුවක් වනු ඇතැයි බිය පළ කෙරේ.
පසුගිය ඉරිදා (24) හොංකොං හි පළාත් පාලන මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීමේ ඡන්දය පැවැත්විණි. එයින් ප්රජාතන්ත්රවාදී විපක්ෂ දේශපාලන කණ්ඩායම් ජයග්‍රහණය කළේ බහුතර බලයක් හිමිකර ගනිමිනි. හොංකොං විරෝධතාකරුවෝ මෙම දේශපාලන කණ්ඩායම් සමඟ එක් වී සිටිති.
හොංකොං හි විරෝධතා ආරම්භ වූයේ මීට මාස 6 කට පෙර, හොංකොං පාලිකා කැරී ලෑම් හඳුන්වා දීමට උත්සාහ කළ නව උදර්පණ පනත් කෙටුම්පත මුල්කොට ගනිමිනි.
මෙම උදර්පණ පනත් කෙටුම්පත සම්මත වූයේ නම්, චීනයේ උදහසට ලක් වී හොංකොං හි රැඳි සිටින ඕනෑම චීන ජාතිකයකු පහසුවෙන් චීනයට ගෙන්වා ගැනීම සිදුවෙයි. හොංකොං හි චීන රජයේ උදහසට ලක්වුණු විපක්ෂ ක්‍රියාකාරීහු රැසක් ජීවත් වෙති.
විපක්ෂ ක්රියාකාරීන්ගේත් විරෝධතාකරුවන්ගේත් විරෝධය මුල්කොට ගනිමින් උදර්පණ පනත හකුලා ගැනීමට කැරී ලෑම් කටයුතු කළේය. කෙසේ නමුත් ඉන්පසුව ද විරෝධතා දිගටම පැවැතිණි. ඒ වෙනත් ඉල්ලීම් දිනා ගැනීමට විරෝධතාකරුවන් උත්සාහ ගන්නා බැවිනි.
විරෝධතාකරුවන් මර්දනයට හොංකොං පාලකයන් පොලිසිය යොදවා ඇත. පොලිස් ප්‍රහාර හේතුවෙන් දරුණු ලෙස මානව හිමිකම් උල්ලංඝනය වෙනවා යැයි බටහිර රටවල් චෝදනා කරයි. තමන්ගේ ගැටලුවට මැදිහත් වෙන්නැයි හොංකොං විරෝධතාකරුවන් පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී ඇමෙරිකන් ජනපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේ ට්‍රම්ප් කියා සිටියේ චීන ජනපති ෂී ජින්පින් මානව හිතවාදියකු බවත්, හොංකොං වැසියන්ගේ යහපත වෙනුවෙන් ඔහු කටයුතු කරනු ඇති බවත්ය. කෙසේ නමුත් හොංකොං හි විරෝධතා අවසන් නොවුණු අතර, විරෝධතාකරුවන්ට සහාය දීමට ජනපති ට්‍රම්ප් තීරණය කළේ ඉරිදා පැවැති මැතිවරණයෙන් විපක්ෂය විශිෂ්ට ජයක් හිමි කරගත් නිසා යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

