හෙද හෙදියන් වෘත්තීය ක්‍රියාමාර්ගයක



‘කොවිඩ්-19’ ආසාදිතයන් වැඩි වීම, අඩු වැටුප් සහ කාර්යමණ්ඩල හිඟ වීම යන කරුණු මුල් කරගනිමින් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හෙද හෙදියන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

නිව් සවුත් වේල්ස් යනු ඔස්ට්‍රේලියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තය වන අතර හෙද හෙදියන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇත්තේ දශකයකට ආසන්න කාලයකට පසුව වීම ද විශේෂත්වයකි.

වැටුප් වැඩි නොවීම, කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවීම මෙන්ම දෛනිකව වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් වැඩි වීම සඳහා ඒ හේතුවෙන් ‘කොවිඩ්-19’ ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ සහ රෝහල් පද්ධතියට දැඩි පීඩාවක් හේතු වීම යන කරුණු මුල් කරගනිමින් හෙද හෙදියන් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.

ඔස්ට්‍රේලියාව තුළ මේ වනවිට නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසයේ අලුත් ම ප්‍රභේදය වන ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරෙමින් තිබේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවන්නැයි ඔස්ට්‍රේලියාවේ කාර්මික සම්බන්ධතා කොමිසම නියෝගයක් ද නිකුත් කර තිබිණි. ඉකුත් සඳුදා එම නියෝගය නිකුත් කර තිබූ නමුත් හෙද හෙදියෝ සිඩ්නි නුවර මාර්ගවල විරෝධතාවල යෙදුණාහ. ඇතැම් හු පෞද්ගලික ආරක්ෂක උපකරණවලින්, පෞද්ගලික ආරක්ෂක ඇඳුම්වලින් මෙන්ම නිල ඇඳුම්වලින් ද සැරැසී සිටියහ.

අනිවාර්ය හෙද-රෝගී අනුපාතය සහ සියයට 2.5කට වැඩි අගයකින් වැටුප් වැඩි කිරීම මෙම හෙද හෙදියන්ගේ ඉල්ලීම්වලට ඇතුළත් ව ඇත.

දැඩි සීමා පනවමින් ඔස්ට්‍රේලියාව ‘කොවිඩ්-19’ වසංගතයට මුහුණ දුන් අතර අවස්ථා කිහිපයකදීම දැඩි ලොක්ඩවුන් සීමා පැනවීය. ඊට අමතරව ඔවුන් ඔවුන්ගේ දේශසීමා දීර්ඝ කාලයකට වසා දමා තිබිණි.

කෙසේ නමුත් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ රෝහල් පද්ධතියට නැවත වරක් දැඩි බලපෑමක් එල්ල වී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS