හිටපු අගමැතිනියට සර්බියාවේ පුරවැසිභාවය

දූෂණ වංචා චෝදනා එල්ල වී, එම චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වූ අවස්ථාවේදී රහසේ තායිලන්තයෙන් පලා ගොස් සැඟවී ජීවත් වුණු හිටපු අගමැතිනී යිංග්ලක් ෂිනවාත්‍රාට සර්බියාවේ පුරවැසිභාවය හිමිවී ඇතැයි සර්බියානු පුවත් සේවා වාර්තා කළේය.
හිටපු තායිලන්ත අගමැතිනියට පුරවැසිභාවය පිරිනැමීම, සර්බියානු අගමැතිනී ඇනා බ්රැනබික්ගේ අත්සනින් සිදුවුණු බව සර්බියානු පුවත් සේවා වාර්තා කළේය. සර්බියාව යනු ගිණිකොනදිග යුරෝපයට අයත් රාජ්‍යයකි. සර්බියානු පුරවැසියකු ලෙස සර්බියානු ගුවන් බලපත්‍රයකින් යිංග්ලක්ට වීසා නොමැතිව රටවල් 100 ට යෑමේ හැකියාව හිමිවනු ඇතැයි මාධ්‍ය වාර්තා වේ.
2014 වසරේ, විපක්ෂය මැදිහත් වී, ආරම්භ වූ ජනතා විරෝධය තායිලන්තයේ දේශපාලනික අර්බුදයක් නිර්මාණය විය. ඒ වනවිට තායිලන්ත අගමැති ධුරය හෙබවූයේ යිංග්ලක් ෂිනවාත්‍රාය. දේශපාලන අර්බුදය දිනෙන් දින උත්සන්න වී රට අස්ථාවර වෙද්දී හමුදාව රටේ පාලන බලය අතට ගත්තේ, ලේ වැගිරීමකින් තොරව කළ හමුදා කුමන්ත්‍රණයකිනි.
2017 වෙද්දී යිංගල්ක් ෂිනවාත්‍රාට එල්ල වූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්විණි. දූෂණ චෝදනා එල්ල වූයේ සහල් සහනාධාර මුල්කොට ගනිමින් අක්‍රමිකතා සිදුවුණු බැවිනි. 2017 වසරේ අගෝස්තුවේ, චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වූ යිංග්ලක්ට පස් වසරක සිරදඬුවමක් නියම කෙරුණි.
නඩු තීන්දුව ලබා දෙද්දී, යිංග්ලක් අධිකරණය හමුවේ පෙනී නොසිටියාය. ඒ වනවිටත් ඇය රටින් පැනගොස් සිටි බව පසුව අනාවරණය විය. ඇය කුමන රටකට ගියේදැයි යන්න සම්බන්ධයෙන් කිසිවක් මාධ්‍ය වෙත වාර්තා නොවිණි.
යිංග්ලක්ගේ සොහොයුරා තක්ෂින් සිනවාත්රා ද තායිලන්තයේ අගමැති ධූරය හොබවා, දූෂණ වංචා චෝදනාවලට ලක් වී විදේශගව ජීවත් වෙයි. තක්සින්ට හෝ යිංග්ලක්ට හෝ යළි තායිලන්තයට පැමිණීමට හැකියාවක් නොමැත.
ජනතා විරෝධය හමුවේ තයිසින් ෂිනවාත්‍රාට අගමැති ධුරය අහිමි වූයේ 2006 වසරේ සිදුවුණු හමුදා කුමන්ත්රණයෙනි. ධනවත් ව්‍යාපාරිකයකු වන තක්සින්ට මොන්ටෙනීග්‍රෝ පුරවැසිභාවය හිමි වී ඇත. අද වනවිට ඔහු ලන්ඩන් සහ ඩුබායි කේන්ද්‍රකොට ගනිමින් වාසය කරන බව පැවැසෙයි. තායිලන්තයෙන් පලා යෑමෙන් පසු යිංගලක් ෂිනවාත්රා ඩුබායි, ලන්ඩන් නුවරත්, හොංකොං සහ ජපානයේත් සිටින බව වාර්තා විය.
බෙල්ග්‍රේඞ් (රොයිටර්ස්)

