හිටපු අගමැතිනිය අත්අඩංගුවට ගන්නැයි නියෝග



අධිකරණය හමුවේ පෙනී නොසිටියේ යැයි චෝදනා කරමින්, තායිලන්ත හිටපු අගමැතිනී යිංග්ලක් ෂිනවත්‍රා අත්අඩංගුවට ගන්නැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය වරෙන්තු නිකුත් කළේය.

යිංග්ලක් ෂිනවාත්‍රා යනු තායිලන්ත අගමැතිවරයකු මෙන්ම ධනකුවේරයකු ද වන තක්සින් ෂිනවාත්‍රාගේ බාල සොහොයුරියයි. තක්සින් ෂිනවාත්‍රා ද ධුරයෙන් සමුගත්තේ දූෂණ වංචා චෝදනා හේතුවෙනි. පූ තායි පක්ෂය නියෝජනය කරමින් යිංග්ලක් ෂිනවාත්‍රා 2011 වසරේ දී තායිලන්තයේ අගමැති ධුරයට පත් වූයේ එම ධුරයට පත් වුණු පළමු කාන්තාව ලෙසිනි.

2015 දී දෝෂාභියොගයකින් යිංග්ලක් ෂිනවාත්‍රා අගමැති ධුරයෙන් නෙරුපිණි ඒ, තායිලන්ත ගොවීන්ගෙන් වැඩි මිලට සහල් මිලදී ගැනීමේ අකටයුත්තක් මුල්කොට ගනිමිනි.

එම චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැත්වෙයි. එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඊයේ දිනයට යෙදී තිබුණු නමුත් හිටපු අගමැතිනී යිංග්ලක් ෂිනවත්‍රා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන සැප්තැම්බර් 27 වැනිදාට කල් තැබුණු අතර, යිංග්ලක් ෂිනවාත්‍රා අත්අඩංගුවට ගන්නැයි ද වරෙන්තු නිකුත් කිරිමට අධිකරණය කටයුතු කළේය. හිටපු අගමැතිනියට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ තායිලන්තයේ දැන් බලයේ සිටින හමුදා රජයයි.

තමා කිසිදු නීති විරෝධී ක්‍රියාවක නියැලී නැතැයි යිංග්ලක් ෂිනවාත්‍රා දිගින් දිගටම කියා සිටී. එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වුවහොත් ඇයට සිර දඬුවම් පමණක් නොව, ජීවිතාන්තය තෙක් දේශපාලනයේ නියැලීමට පවා නොහැකි වනු ඇතැයි පැවැසෙයි.
ඊයේ දිනයේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත හෙයින් අධිකරණය අභියසට පූ තායි පක්ෂ සාමාජිකයන් පමණක් නොව, යිංග්ලක් ෂිනවාත්‍රාගේ ආධාරකරුවෝ රැසක් ද රැස්වී සිටියහ.

(රොයිටර්/ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS