හැකි සෑම අයුරින්ම රුසියාවට සහාය දෙනවා - චීනය



‘වැග්නර්’ කුලී හේවායන්ගේ කැරැල්ලෙන් පසු, චීන ජනාධිපති ෂී ජින්පින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අමතමින් පවසා ඇත්තේ රුසියාවට හැකි සෑම අයුරින්ම සහාය දැක්වීමට චීනය සූදානමින් සිටින බවය.
රුසියාවේ ‘වැග්නර්’ කුලී හේවායන්ගේ කැරැල්ල පැය 24 කට සීමා වුණත්, එය රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පාලන අධිකාරියට දැඩි බලපෑමක් එල්ල කළේය.

කොන්දේසි විරහිතව, චීනය රුසියාවේ සහායට සිටින බවත්, රුසියාව මුහුණ දෙන ඕනෑම අර්බුදයකදී චීනය රුසියාවේ සහායට සිටින බවත් චීන ජනාධිපති ෂී ජින්පින් රුසියන් ජනාධිපතිවරයාට පවසා තිබේ.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ ‘වැග්නර්’ කුලී හේවායන්ගේ සහාය ඇතිවය. නැගෙනහිර රුසියාවේ නගර සහ පළාත් අත්පත් කර ගැනීමට රුසියානු හමුදාව සමත් වූයේ ‘වැග්නර්’ සාමාජිකයන්ගේ උදවුවෙනි. ‘වැග්නර්’ බලඇණියට නායකත්වය දෙන ප්‍රියෝජින් 90 දශකයේ පටන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ මිතුරෙක් විය.

පසුගිය සති අන්තයේ ප්‍රියෝජින් රුසියන් ජනාධිපති පුටින්ට, රුසියන් රජයට සහ හමුදාවට එරෙහිව කුමන්ත්‍රණය කළේය. ඒ රුසියන් හමුදාව හිතාමතා පහර දී වැග්නර් සාමාජිකයන් ඝාතනය කළේ යැයි චෝදනා නගමිනි.
පැය 24 ක් ගතවීමට පෙර හටගත් අර්බුදය අවසන් වූයේ බෙලරූස් ජනාධිපති ලුකෂෙන්කෝගේ මැදිහත් වීමෙනි. රුසියන් රජයට එරෙහිව කැරැලි ගැසූ, ‘වැග්නර්’ නමැති පෞද්ගලික කුලී හේවා බලඇණියට රුසියානු රජය පසුගිය වසරේ ඇමෙරිකන් ඩොලර් බිලියනයක මුදලක් ලබා දී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

එම මුදල ලබා දී ඇත්තේ යුක්රේනයේ නගර සහ පළාත් අල්ලා ගැනීමට ඔවුන් ලබා දුන් සේවය වෙනුවෙනි.
2022 මැයි මාසයේ සිට මෙම 2023 මැයි මාසය දක්වා කාලයේ රජය මෙම මුදල වැග්නර් කුලී හේවායන්ට ලබා දුන් බව ප්‍රසිද්ධියට පත් කළේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ය. පුටින් මේ බව කියා සිටියේ සිය ආරක්ෂක ප්‍රධානීන් සමඟ විශේෂ හමුවක් පවත්වමිනි.


RECOMMEND POSTS