හර්යානා ප්‍රාන්තයේ ගැටුම්: 36 ක් මරුට

ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් ‘දෙරා සචා සෞදා’ ආගමික නිකායේ නායක ගුර්මීත් රාම් රහීම් සිං වරදකරු යැයි ඉන්දීය අධිකරණයක් තීන්දු කිරීමත් සමඟ හර්යානා ප්‍රාන්තයේ පංච්කුලා නගරය කේන්ද්‍රකොට ගනිමින් හටගත් ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 36 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ගුර්මීත් රාම් රහීම් සිං තරුණියන් දෙදෙනකු අපහරණයට ලක් කළේ කළ බව පැවැසෙන්නේ මීට වසර 15 කට පෙර, 2002 වසරේදීය. එම තරුණියන් දෙදෙනා අපහරණයට ලක් වී ඇත්තේ, ගුර්මීත් රාම් රහීම් සිංගේ ‘දෙරා සචා සෞදා’ ආශ්රමයේදීය. එම ආශ්‍රමය පිහිටා ඇත්තේ හර්යානා ප්‍රාන්තයේ සිර්සා නගරයේය.

තමා කිසිදු අපරාධයක් සිදු නොකළ බව ගුර්මීත් රාම් රහීම් සිං තරයේ කියා සිටී.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේ රෝතක් දිස්ත්‍රික්කයේ අධිකරණකි. ප්රචණ්ඩ ක්‍රියා ඇති වේවි යැයි බියෙන් පසුගිය සිකුරාදා (25) ගුර්මීත් රාම් රහීම් සිං අධිකරණයට රැගෙන එන ලද්දේ ද රජයට අයත් හෙලිකොප්ටරයකිනි.
නඩු තීන්දුවෙන් පසු ප්රචණ්ඩ ක්‍රියා ඇවිලී ගියේ සිර්සා සිට සැතපුම් 155 ක් දුරින් ඇති පංච්කුලා නගරයේය. ගුර්මීත් රාම් රහීම් සිංගේ අනුගාමිකයන් වීදි බැස අධිකරණ තීන්දුවට එරෙහිව ප්‍රකෝපකාරීව හැසිරෙන්න වූහ.
ඔවුහු රජයේ ගොඩනැගිලිවලට පහර දුන්හ. රජයේ ගොඩනැගිලි දෙකක් ගිනි තබා විනාශ කළහ. මෝටර් රථ, බස් රථවලට පමණක් නොව බස් නැවැතුම්පොළවලට පහර දුන්හ. ප්‍රාන්ත මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදීන්ගේ වෑන් රථවලට පහරදී හානි සිදු කළහ. ඉන්දීය පුවත් සේවා පසුව වාර්තා කළේ ගුර්මීත් රාම් රහීම් සිං අනුගාමිකයන් වාහන 28 කට පහර දී ගිනි තබා විනාශ කළ බවය. පංච්කුලා නගරයට ඇඳිරි නීතිය පැනැවීමට ද බලධාරීන්ට සිදුවිණි.
ප්‍රාන්ත බලධාරීන් කියා සිටියේ අනුගාමිකයන් සහ ආධාරකරුවන් නිසි සිදුවුණු මිලියන ගණනක පාඩුව ගුර්මීත් රාම් රහීම් සිංගෙන් අය කර ගැනීමට කටයුතු කරන බවය. ප්රචණ්ඩ ක්‍රියා හර්යානා ප්‍රාන්තයේ සිට නවදිල්ලි අගනුවරට තෙක් පැතිර ගියේය. ගුර්මීත් රාම් රහීම් සිංගේ අනුගාමිකයෝ නවදිල්ලියේ මගී දුම්රියකට පහර දුන්හ.
පංච්කුලා නගරයේ කලහ කළ පිරිස් පාලනය කිරීම කැරැලි මර්දන පොලිසියට අසීරු විය. එහෙයින්, ඔවුන්ට ඉන්දීය හමුදාවේ ද සහාය ලැබුණි. පොලිසිය සහ අනුගාමිකයන් අතර හටගත් දරුණු ගැටුම්වලින් තුවාල ලැබූ ගණන 540 කි. ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් කලහකාරීන් මර්දනය සිදුවිය. 20,000 කට ආසන්න අනුගාමිකයන් පිරිසක් විරෝධතාවල නියැලුණු බව පැවැසෙයි.
කැරැලි මර්දන පොලිස් නිලධාරීන් 14,000 ක පිරිසක් ගැටුම් මර්දනයට යෙදවිණි. ඔවුන්ගෙන් 1,200 ක පිරිසක් තුවාල ලැබූ බව ද වාර්තා වේ. ගුර්මීත් රාම් රහීම් සිංගේ ආධාරකරුවන් 2,500 ක පිරිසත් පොලිස් අත්අඩංගුවට පත් වූහ.
(එන්.ඩී.ටීවී.)

