හයිටි භූමි කම්පාවෙන් මියගිය ගණන 304 ක්



දේශපාලන සහ ආර්ථික අර්බුදවලින් පීඩාවට පත්වූ හයිටි රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාව හේතුවෙන් මියගිය ගණන 304 පක් බවත් තුවාල ලැබූ ගණන 1,800 ක් බවත් හයිටි සිවිල් ආරක්ෂක සේවය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

නිවස සහ ගොඩනැගිලි රැසක් මුළුමනින්ම පාහේ බිමට සමතලා වී තිබේ. සුන්බන් අතරේ සිරවූවන් සොයා පැය 24 පුරා මෙහෙයුම් සිදුවන බව හයිටි සිවිල් ආරක්ෂක සේවයේ ප්‍රධානී ජෙරී චැන්ඩ්ලර් මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබේ.

භූමි කම්පාවෙන් විපතට පත් වුණු හයිටි වැසියන්ට කඩිනමින් ආධාර ලබා දෙන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. මේ වනවිටත් ඇමෙරිකන් හමුදා ගුවන් යානා ආධාර රැගෙන හයිටියබලා පැමිණි ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

භූමි කම්පාව හටගත්තේ ඊයේ (14) ය. එය රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයක් සටහන් කළේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය අවට රටවල් කිහිපයට දැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූමි කම්පාවේ අපිකේන්ද්‍රය සටහන් වූයේ හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් අගනුවර සිට කිලෝ මීටර් 160 ක් දුරිනි. භූමි කම්පාවෙන් දරුණු ලෙස හානි සිදුවූ ඇතැයි පැවැසෙන්නේ හයිටියේ දකුණු දිග පළාත් සහ නගරවලටය.

භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇගවීම් පවා නිකුත් කෙරුණි. පසුව හයිටි වෙරළ තීරයට අඩි 10ක් පමණ උසැති රළ කඩා වැදුණු බව ද වාර්තා විය. මේ අතර භූමි කම්පාවෙන් විපකට පත්වුනු හයිටියට කඩිනමින් ඇමෙරිකාව ආධාර කරන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දී ඇත

2010 වසරේ ජනවාරි මාසයේ, හයිටියට අති ප්‍රබල මෙන්ම බිහිසුණු භූමිකම්පාවකින් කැලඹිණි. පෝට් ඕ ප්‍රින්ස් අගනුවර මුළුමනින්ම පාහේ විනාශ විය. එම භූමිකම්පාවෙන් මියගිය ගණන ලක්ෂ 2 ඉක්මවූ අතර තුවාල ලැබූ ගණන ලක්ෂ 3 ඉක්මවීය. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය ඊයේ (14) හටගත් භූමිකම්පාවට වඩා ප්‍රබලත්වයෙන් අඩුවය. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 7.0 ක් ලෙසය.

(රොයිටර්)


RECOMMEND POSTS