හමුවුණේ එක් ආසාදිතයයි: චීන නගරයක් ලොක්ඩවුන්



අහඹු ලෙස කළ කොරෝනා පරීක්ෂණයකදී, කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ එක් කොරෝනා වයිරස ආසාදිතයකු හමුවීමත් සමඟ, ලක්ෂ 47 වෙසෙන චීන නගරයක් ලොක්ඩවුන් කරමින් නගරයේ සියලුම දෙනා කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

කොරෝනා පරීක්ෂණ ආරම්භ වී ඇත්තේත් ෂිංජියැං පළාතේ කාශ්ගාර් නමැති නගරයෙනි. හමුවුණු ආසාදිතයා කාන්තාවක් බව ද පැවැසෙයි. මේ වනවිට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ තවත් ආසාදිතයන් 156 දෙනකු සොයා ගැනීමට සෞඛ්‍ය අංශ සමත් විය.

පළමු ආසාදිතයා සොයා ගත් සැණින්, හමුදාවේ ද සහාය ඇතිව කාශ්ගාර් නගරය මුළුමනින්ම ලොක්ඩවුන් කෙරුණු අතර නගරය තුළ සංචරණ සීමා පැනැවිය. ඉන්පසු නගරය පුරා, නගර වැසියන් පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණ කුටි ස්ථාපිත කෙරුණි. ඉදිරි දින දෙක ඇතුළත නගරයේ සියලු දෙනා පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වන බව නගර බලධාරීහු පවසති.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය චීනයේ හුබෙයි පළාතේ වූහාන් නමැති නගරයයි. කොරෝනා වයිරසයක් ලෙස හඳුනා ගත්තත් වයිරසයේ මුලමුල සම්බන්ධයෙන් හරිහැටි කිසිවක් මෙතෙක් දැන ගන්න ලැබී නැත. එන්නතක් නිපදවීම සම්බන්ධයෙන් ද ගැටලු මතුවී ඇත්තේ එහෙයිනි.

කාශ්ගාර්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS