හමුවන්න තැනක් සොයයි

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ පැවැත්වෙන දෙවැනි හමුවට තමන් සූදානමින් සිටින බවත්, උතුරු කොරියා සහ ඇමෙරිකා ආරක්ෂක අංශ මැදිහත් වී, එම හමුව පැවැත්වීමට සුදුසු ස්ථානයක් සොයන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.
ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව කීවේ මාධ්‍යවේදීන් පිරිසක් හමුවුණු අවස්ථාවේදීය. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාමය වෙනුවෙන් කැපවී සිටින බවත්, න්‍යෂ්ටික අවිහරණ කටයුතු දිගටම සිදු කරමින් පවතින බවත් ඇමෙරිකා ජනාධිපතිවරයා එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් උතුරු කොරියාවේ ‘පැහැදිලි වෙනසක්’ දකින තුරු එරටට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමක් හෝ ඉවත් කිරීමක් හෝ නොකරන බව ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළේය.
උතුරු කොරියා නායකයා අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් කියා සිටියේ, න්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන් තමා කැපවී සිටින බවත් ඒ සම්බන්ධයෙන් ඇමෙරිකාව තමන් සමඟ ඇතිකරගත් එකඟතාවට අනුව ක්‍රියා කළ යුතු බවත්ය.
යම්හෙයකින් ඇමෙරිකාව තමන් සමඟ ඇතිකරගත් එකඟතාවයට පිටුපාන්නේ නම්, තමන් වෙනස් මඟක් ගැනීමට පසුබට නොවන බව ද කිම් ජොන් උන් අවධාරණය කළේය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර පළමු හමුව පැවැත්වූයේ පසුගිය ජූනි මාසයේදීය. හමුව පැවැත්වූයේ සිංගප්පූරුවේදී, සිංගප්පූරු රජයේ මැදිහත් වීමෙනි.
(ඒ.එෆ්.පී.)

