හමුදා ඇකඩමියට ත්‍රස්තයෝ පහර දෙති



ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හමුදා පුහුණු පාසලට අලුයම ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත් 20 ක් තුවාල ලැබූ බවත් වාර්තා විය.

ප්‍රහාරය සිදු කළේ තම සාමාජිකයන් යැයි ඇෆ්ගන් තලේබාන් සංවිධානය සමඟ අත්වැල් බැඳගෙන සිටින අයි.එස්. ත්‍රස්තවාදීන් පවසා තිබේ.ත්‍රස්තවාදීන් කඩා වැදී පහර දුන්නේ, ‘මාර්ෂල් ෆහීම්’ නමැති හමුදා පුහුණු පාසලටය. වෙඩි තබමින්, අත්බෝම්බවලින් දමා ගසමින්, ත්‍රස්තයෝ පාසලට කඩා වැදී ඇත්තේ අලුයම පහට පමණි.

ත්‍රස්ත ප්‍රහාරය ගැන සැලවුණු සැණින්, ඇෆ්ගන් ආරක්ෂක අංශ පුහුණු පාසල වට කළේය. සියලු මාර්ග අවහිර කර වසා දැමීය.  ආරක්ෂක අංශ සහ ත්‍රස්තවාදීන් අතර පැය ගණනාවක් තිස්සේ දරුණු අවි ගැටුම් සිදුවිය.

පසුගිය 2017 වසරේ ද මෙම හමුදා පුහුණු පාසලට තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. හමුදා පුහුණු කඳවුර පිහිටා ඇත්තේ කාබුල් අගනුවර මධ්‍යයේය. මරාගෙන මැරෙන තලේබාන් ත්‍රස්තවාදියෙක් හමුදා කඳවුරට කඩා වැදී බෝම්බය පුපුරුවා ගත්තේය. එම බෝම්බ ප්‍රහාරයෙන් කැඩෙට් සෙබළු 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS