සෞදි රජු ජපානයේ



ආසියානු මුස්ලිම් රටවල් කිහිපයක සංචාරය කිරීමෙන් අනතුරුව, සෞදියේ සල්මාන් රජු ජපානයට පැමිණියේය. සෞදි රජකු ජපානයට පැමිණියේ අවුරුදු 50 කට පසුව යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

81 හැවිරිදි සෞදි රජු සිය පෞද්ගලික ගුවන් යානයෙන් ටෝකියෝ නුවරට පැමිණියේ සේවක සේවිකාවන්, ටොන් දහස් ගණක් බඩු මුට්ටු සහ කුමාරවරුන් ද පිරිවරාගෙනය.

සෞදි රජු ජපාන අගමැති ෂෙන්සෝ අබේ අතරේ ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණැයි ජපන් පුවත් සේවා වාර්තා කළේය. ඊට අමතර සෞදි රජු ජපානයේ අකිහිකෝ අධිරාජ්‍යයා හමුවීමට ද නියමිතව සිටියේය.

ජපානයට පැමිණි සෞදි රජු ඇතුළු පිරිවර වෙනුවෙන් ටෝකියෝ නුවර සුඛෝපබෝගී හෝටල කාමර 1,200 ක් වෙන් කෙරුණු බව ද වාර්තා වේ. සෞදි රජු සහ පිරිවර ජපානයේ රැඳී සිටිනු ඇත්තේ දින 3 ක කාලයකට පමණි.

සෞදි රජුගේ පෞද්ගලික ගුවන් යානයෙන් රජුගේ පහසුව තකා තැන තැන රැගෙන යා හැකි විශේෂිත රන් අලේප කළ සෝපාන දෙකක් ද ගෙන එන ලදී. සෞදි රජු ගමන් බිමන් යන්නේ මර්සිඩීස් බෙන්ද් එස් 600 වර්ගයේ අධි සුඛෝපභෝගී මෝටර් කාරයෙනි. මෙවැනි මෝටර් කාර් දෙකක් ද රජු සහ පිරිවර සමඟ ටෝකියෝ නුවරට රැගෙන එන ලදී.

රජුගේ ආරක්ෂාවට පමණක් සියයකට වැඩි ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් සිටින බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS