සෝමාලියාවේ කාර් බෝම්බ දෙකක් පිපිරී 100 ක් මරුට



අප්‍රිකාවට අයත් සෝමාලියාවේ, මොගඩිෂු අගනුවර, කාර් බෝම්බ දෙකක් පුපුරා යෑමෙන් පුද්ගලයෝ 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 200 ට වැඩි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද පැවැසෙයි.

කාර් බෝම්බ පුපුරා ගියේ සෝමාලියාවේ අධ්‍යාපන අමත්‍යාංශය අසලය. මෙම ස්ථානයේ පාසලක් ද අවන්හල් කීපයක් ද ඇත. ප්‍රහාරයට හසුවීමෙන් මියගිය සහ තුවාල ලැබූවන් අතර පාසල් දරුවන්, වැඩිහිටියන් සහ කාන්තාවන් බොහෝ දෙනකු සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

පළමු කාර් බෝම්බය පුපුරා යෑමෙන් පසු තුවාලකරුවන්ට ආධාර කිරීමට ගිලන් රථ පැමිණෙද්දී, දෙවැනි කාර් බෝම්බය මිනිත්තු කීපයක් ඇතුළත එම ස්ථානයේම පුපුරා ගියේය. වෛද්‍ය ආධාරකරුවන් මෙන්ම, මොහොමද් ඉසේ කෝනා නමැති සෝමාලියාවේ නිදහස් මාධ්‍යවේදියා ද බෝම්බ ප්‍රහාරයට හසුවීමෙන් මියගිය බව පැවැසෙයි.

බෝම්බ පුපුරුවා හරින්න ඇත්තේ, අල් ෂෙබාබ් ත්‍රස්ත සාමාජිකයන් යැයි සෝමාලි ජනාධිපති හසාන් ෂෙයික් මොහොමද් චෝදනා නගා ඇත.

“අපේ ජනතාව අමු අමුවේ ඝාතනය වෙලා. මියගිය පිරිස අතරේ කුඩා දරුවන් ඉන්නවා. කාන්තාවන් ඉන්නවා. විශ්ව විද්‍යාල දරු දැරියන් ඉන්නවා. ව්‍යාපාරිකයන් ඉන්නවා. මේක සිත්පිත් නැති අපරාධයක්” යැයි ජනාධිපතිවරයා පැවැසීය. ඒ, බෝම්බ ප්‍රහාර එල්ල වුණු ස්ථානයට ගොස් සිදුවුණු විපත දැක බලා ගැනීමෙන් පසුවය.

අල් ෂෙබාබ් යනු අල් කයිඩාවට සම්බන්ධ ත්‍රස්ත කල්ලියකි.මීට සතියකට පෙර අල් ෂෙබාබ් ත්‍රස්තයෝ සෝමාලියාවේ කිස්මායෝ වරාය නගරයේ හොටලයකට කඩා වැදී පහර දුන්හ. එම ප්‍රහාරයෙන් නව දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 47 කි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS