සෙලෙන්ස්කී ට්‍රම්ප් හමුව

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ ට්‍රම්ප්ට අයත් මාර් අ ලාගෝ මන්දිරයේ දී පැවැත්විණි. ර් රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්ය.
නිවාඩු සති අන්තය හේතුවෙන්, ට්‍රම්ප් සිය ජනාධිපති රාජකාරි කටයුතුවලට විරාමයක් දී, ෆ්ලොරීඩාවේ මාර් අ ලාගෝ මන්දිරයට ගොස් සිටී. යුක්රේන ජනාධිපතිසෙලෙන්ස්කී සහ ට්‍රම්ප් අතර හමුව, මාර් අ ලාගෝ මන්දිරයේ සිදුවූයේ ඒ නිසාය.
යුක්රේන ජනාධිපතිවරයා සිය නියෝජිතයන් ද පිරිවරාගෙන හමුවට සහභාගී විය. සෙලෙන්ස්කිගේ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයන් වූයේ යුක්රේන ජාතික ආරක්ෂක සහ ආරක්ෂක මණ්ඩලයේ ලේකම් රුස්ටම් උමෙරොව් සහ යුක්රේන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇන්ඩ්‍රි නාටොව් ය.
ට්‍රම්ප්ගේ කණ්ඩායමට ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ්, ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර් සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රෑබියෝ එක් ව සිටියහ. ට්‍රම්ප් වෙනුවෙන් රුසියාවට ගොස් රුසියන් ජනාධිපති හමුවී සාකච්ඡා පවත්වන්නේ ස්ටීව් විට්කොෆ් ය.
මාර් අ ලාගෝ මන්දිරයට පැමිණෙද්දීම, ට්‍රම්ප්ගෙන්, සෙලෙන්ස්කීට හමුවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. රුසියන් යුක්රේන යුද්ධය නතර කිරීමට ට්‍රම්ප් උනන්දු වූයේ මෙම වසරේ ජනවාරියේ ඔහු ජනාධිපති ධුරයේ දෙවැනි වරට දිවුරුම් දීමත් සමඟය.
ට්‍රම්ප්ගේ මැදිහහත් වීමෙන් රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට කරුණු 28 කින් සමන්විත සාම වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර ඒය යුක්රේන ජනාධිපතිවරවයාගේත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේත් අවධානයට ලක් කෙරුණි.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ඔහුට සහාය දක්වන යුරෝපා රටවල නායකයන් ද සමඟ සාකච්ඡා පවත්වා, ට්‍රම්ප්ගේ සාම සැලැස්මට ද අයත් කරුණු ඇතුළත් කොට, කරුණු 20 ක සාම සැලැස්මක් සකස් කර ඇත.
ජනාධිපති සෙලෙන්ක්සී, ට්‍රම්ප් හමුවීමට පැමිණියේ එම සාම සැලැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. සෙලෙන්ස්කී අවධාරණය කළේ හැකි ඉක්මනින් යුද්ධය නවත්වා සාමයට යෑමට හැකි වනු ඇතැයි කියාය. හමුවට ප්‍රථමයෙන්, ට්‍රම්ප් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දුරකතන ඇමතුමක් දුන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ට්‍රම්ප් සමඟ සාකච්ඡාවලින් පසු සෙලෙන්ස්කී, යුරෝපා රටවල නායකයන්ට දුරකතනයෙන් ඇමතුම් ලබා දුන් බව ද පැවැසෙයි.

