සූමා ට මාස 15 ක සිර දඩුවමක්



දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමා ට මාස 15 ක සිර දඩුවම් නියම විය. හිටපු ජනාධිපතිවරයාට සිර දඩුවම් නියම කළේ දකුණු අප්‍රිකාවේ ඉහළ ම අධිකරණය වන ව්‍යවස්ථා අධිකරණය මගිනි.

ජේකොබ් සූමා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ලෙස 2018 වසර තෙක් එම ධුරය හෙබවීය. සූමා ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව පැවසෙන විවිධාකාරයේ දූෂණ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙන අතර, ඊට ඉදිරිපත් වන්නැයි ව්‍යවස්ථා අධිකරණය දුන් නියෝගය නොසලකා හැරීම හේතුවෙන් ඔහුට මාස 15 ක සිරදඩුවම් නියම කෙරුණි.

අධිකරණ නියෝගය නොසලකා හැරීම, අධිකරණයට කළ අපහාසයක් යැයි විනිසුරුවරයා පෙන්වා දුන්නේය. පොලිසියට පැමිණ බාර වීමට හිටපු ජනාධිපතිවරයාට අධිකරණය දින 5 ක කාලයක් ලබා දුන් අතර, එසේ බාර නොවුණහොත් ඔහු වහා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය පොලිසියට නියෝග කළේය.

79 හැවිරිදි සූමා, දකුණු අප්‍රිකාවේ 4 වැනි ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ ජනාධිපතිවරයාය. අප්‍රිකා ජාතික කවුන්සිලයට නායකත්වය දෙමින් 2009 ජනාධිපතිවරණයෙන් ජයගත් සූමා, 2018 පෙබරවාරි 14 වැනිදා තෙක් ජනාධිපති ධුරය හෙබවීය.

ජනාධිපති ධුරය හොබවද්දී බලතල අයථා ලෙස භාවිත කළේ යැයි චෝදනා රැසක් සූමාට එල්ල වී ඇති අතර, ඒ එක් එක් චෝදනා සම්බන්ධයෙන් වෙන වෙනම නඩු විභාග පැවැත්වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS