සුඩානයේ ගැටුම් දරුණුයි

සුඩාන හමුදා රජය සහ ‘රැපිඩ් සපෝට් ෆෝස්’ අතිරේක හමුදා බලඇණිය අතර ගැටුම් උත්සන්න වෙමිනි පවතී.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (16) වනවිට, ගැටුම්වලින් මියගිය ගණන 100 පසු කළ බවත්, 1,100 ක් තුවාල ලබා සිටින බවත්ය.
සුඩානය යනු අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. නිල වශයෙන් හැඳින්වෙන්නේ ‘සුඩාන ජනරජය’ යනුවෙනි. සුඩානය පිහිටා ඇත්තේ වයඹදිග අප්‍රිකාවේය. සුඩානයේ අසල්වැසි රටවල් වන්නේ චැඩ්, ඊජිප්තුව, එරිත්‍රියාව සහ ඉතියෝපියාවය. සුඩානයේ අගනුවර කර්ටෝම් වන අතර, 2021 වසරේ ලෝක බැංකු වාර්තා අනුව, සුඩානයේ ජනගහනය මිලියන 45.66 කි. එරට භාවිතා කෙරෙන මුදල් ඒකකය වන්නේ සුඩාන පවුම් ය. අරාබි සහ ඉංග්‍රීසි සුඩානයේ නිල භාෂා වෙයි.
සුඩානයේ බල අරගලයක් නිර්මාණය වී ඇත්තේ සුඩාන හමුදාවට නායකත්වය දෙන ජනරාල් අබ්දෙල් ෆාටා අල් බුර්හාන් සහ සුඩාන නියෝජ්‍ය නායක මොහොමද් හම්දාන් ඩගලෝ අතරේය. ‘රැපිඩ් සපෝට් ෆෝස්’ බලඇණියට නායකත්වය දෙන්නේ ඩගලෝ ය. මොහු ‘හෙමෙඩිටි’ යන නමින් ද හැඳින්වෙයි. ඩගලෝ, ප්රමුඛ ඔහුගේ බළඇණිය උත්සාහ ගනිමින් සිටින්නේ හමුදාව පරදා රටේ බලය අත්පත් කර ගැනීමටය.
ඊයේ (16) වනවිට කර්ටෝම් අගනුවර ජනාධිපති මන්දිරය, ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇතුළු රජයේ ගොඩනැගිලි රැසක් ‘රැපිඩ් සපෝට් ෆෝස්’ සාමාජිකයන්ගේ ග්‍රහණයට නතුවී තිබුණි. මේ වනවිට හමුදා සාමාජිකයන් සහ ‘රැපිඩ් සපෝට් ෆෝස්’ සාමාජිකයන් අතර ගැටුම් සුඩානයේ සෙසු ප්‍රධාන නගරවලට ද පැතිර ගොස් ඇතැයි ද සුඩාන පුවත් සේවා වාර්තා කර තිබේ. හමුදා රජය නගර වැසියන්ට දැනුම් දී ඇත්තේ නිවෙස්වලට වී සිටින ලෙසටය.
සුඩාන හමුදාව, ඊයේ (16) ‘රැපිඩ් සපෝට් ෆෝස්’ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින්, ඔවුන්ගේ කඳවුරුවලට ගුවන් ප්‍රහාර එල්ල කරන්න විය. සුඩානයේ හටගත් ගැටුම් වහා නවත්වන්නැයි ඇමෙරිකා රජය ඉල්ලීමක් කර තිබේ. අරාබි රටවල් මෙන්ම බටහිර රටවල් ද ඉල්ලීමක් කර ඇත්තේ, ගැටුම්වලට කොටුවුණු සහ තුවාල ලැබූ සුඩාන සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථාන වෙත යෑමට පැය කීපයකට හෝ සටන් විරාමයක් ආරම්භ කරන ලෙසය. ජාත්‍යන්තර ප්‍රජාව බිය පළ කර ඇත්තේ, ආරම්භ වුණු සටන් තවත් උත්සන්න වුවහොත්, සුඩානයේ තවත් සිවිල් යුද්ධයක් හටගනු ඇති බවය.
‘රැපිඩ් සපෝට් ෆෝස්’ බළඇණිය ආරම්භයේ සන්නද්ධ කණ්ඩායමක් පමණක් විය. අතීතයේ මොවුන් හැඳින්වූයේ ‘ජංජාවීද්’ සටන්කාමීන් යනුවෙනි. 2000 දශකයේ, ඩෆූර් කලාපය කේන්ද්‍රකොට ගනිමින් ඇරැඹි සිවිල් යුද්ධයේ දී, දිගු කාලයක් තිස්සේ සුඩානයේ ජනාධිපති ලෙස කටයුතු කළ ඕමාර් අල් බෂීර්, ‘ජංජාවීද්’ සටන්කාමීන්ගේ සහාය ලබා ගත්තේය. ඒ, එදා ජනාධිපති බෂීර්ට හිසරදයක් වුණු කැරැලිකරුවන් මර්දනය සඳහාය. එදා පැවැති ගැටුම්වලින් ලක්ෂ 3 ක වැඩි සිවිල් වැසියන් පිරිසක් ඝාතනය විය. උන්හිටිතැන් අහිමි වුණු ගණන මිලියක 2.5 කි.
යුද අපරාධ කළ බවටත් අමු අමුවේ මනුෂ්‍ය ඝාතන සිදු කළ බවටත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ‘ජංජාවීද්’ නායකයන්ට චෝදනා එල්ල විය. 2013 වසරේ දී ඕමාර් අල් බෂීර්, රජයට සහ හමුදාවට සහාය දක්වමින්, ‘ජංජාවීද්’ සටන්කාමීන් දේශසීමා ආරක්ෂකයන් ලෙස කටයුතු කරන්න විය. ඒ සමඟ සටන්කාමීන්ගේ සංඛ්‍යාව ද වැඩි විය.
2015 වසරේ යේමන යුද්ධයේ දී ‘ජංජාවීද්’ සටන්කාමීන් යේමනයට යැවීම සිදුවිය. ඒ, සෞදියට සහ එමිරේට්ස් රාජ්‍යයට සහාය දක්වමින් යේමනයේ හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන්ට එරෙහිව යුද වැදීමටය. 2017 දී ස්වාධීන ආරක්ෂක බළඇණියක් ලෙස ‘ජංජාවීද්’ සටන්කාමීන්, ‘රැපිඩ් සපෝට් ෆෝස්’ යන නමින් නම් කෙරුණි. එම වසරේ පළ කළ ‘හියුමන් රයිට්ම් වොච්’ වාර්තාවල සඳහන් වූයේ ‘රැපිඩ් සපෝට් ෆෝස්’ යනු සිත්පිත් නැති ඝාතකයන් පිරිසක් බවය.
අද වනවිට ‘රැපිඩ් සපෝට් ෆෝස්’ අතිරේක බළඇණියට සටන්කාමීන් ලක්ෂයකට වැඩි පිරිසක් සම්බන්ධ යැයි පැවැසෙයි. 2021 වසරේ දී සුඩාන හමුදාව කුමන්ත්‍රණය කරමින්, ප්රජාතන්ත්රවාදී අයුරින් බලයට පත් වුණු රජය පෙරළා, රටේ බලය අල්ලා ගත් අවස්ථාවේදී ඊට සහාය දැක්වූයේ ‘රැපිඩ් සපෝට් ෆෝස්’ බළඇණියයි.
(රොයිටර්)

