සිරියාවේ සිට ආපසු පැමිණි අයි.එස්. ත්‍රස්තයා අල්ලයි
සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සමඟ එක්වුණු බංග්ලාදේශ තරුණයකු අත්අඩංගුවට ගත් බව එරට ත්‍රස්ත මර්දන පොලිසිය පැවැසීය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි මොටාජ් අබ්දුල් මජීද් කෆිලුදීන් බෙපාරී නමැත්තාය. මොහු 2018 දී සෞදි අරාබිය හරහා සිරියාවට ගොස් ඇත. අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් විසින් අල්ලා ගත් ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය බිඳ වැටුණු අවස්ථාවේදී, බෙපාරී යළි බංග්ලාදේශයට පැමිණ ඇත. ඒ, ඉකුත් පෙබරවාරියේය.
බෙපාරී සෞදිය හරහා සිරියාවට ගිය අවස්ථාවේ ඔහු අයි.එස්. සාමාජිකයකු බව බංග්ලාදේශ ත්‍රස්ත මර්දන පොලිස් ඒකකයට අවබෝධ වී ඇත. ඉන්පසු ඔහු යළි බංග්ලාදේශයට පැමිණි අවස්ථාවේදී, පොලිසිය ඔහු ලුහුබඳිමින් ඔහු ගැන විමසිල්ලෙන් පසුවුණු බව පැවැසෙයි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ඒ අනුවය. බෙපාරී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩකා අගනුවර මුස්ලිම් පල්ලියක් අසලදීය.
2016 දී බංග්ලාදේශයේ ඩකා අගනුවර විදෙස් සංචාරකයන් ද ගැවසෙන කෝපි අවන්හලකට ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය එල්ල කළේ අයි.එස්.අයි.එස් හිතවාදී ජමයෙතුල් මුජහදීන් බංග්ලාදේශ් නමැති ඉස්ලාමීය අන්තවාදී කල්ලියයි.
ඉන්පසු ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය බාර ගත්තේය. එම ප්‍රහාරයෙන් 22 ක් ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන්ගෙන් 18 දෙනකු විදේශිකයන්ය. එදා එනම් 2016 දී අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය ලොව බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් විය.
බංග්ලාදේශය මුස්ලිම් රාජ්‍යයකි. 2016 ප්‍රහාරයෙන් පසු, බංග්ලාදේශ රජය වහා ක්‍රියාත්මක වී, රටේ ආරක්ෂාව තර කළේය. අයි.එස්. සංවිධානයට එක්වුණු සහ රටහැර ගිය ත්රස්තවාදීන් දැඩි ලෙස මර්දනයට ලක් කිරීම ඇරැඹිණි. සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් සමඟ එක් වුණු බංග්ලාදේශ වැසියන් ආපසු පැමිණෙද්දී, ඔවුන් අල්ලා ගැනීමටත්, පසුව ඔවුන්ට මරණ දඬුවම ලබා දීමටත් බංග්ලාදේශ රජය පියවර ගෙන ඇත.
2016 ඩකා කෝපි අවන්හලට පහර දුන් ජමයෙතුල් මුජහදීන් බංග්ලාදේශ් ඉස්ලාමීය අන්තවාදී කල්ලිය බංග්ලාදේශ රජය විසින් තහනම් කරනු ලැබ තිබුණේ 2015 දීය. බංග්ලාදේශ රජය මැදිහත් වී එහි සාමාජිකයන් ද කඩිනමින් අත්අඩංගුවට ගත්තේය.
ඩකාහිදීය (ඒ.එෆ්.පී.)

