සිරියාවට පක්ෂව රුසියාව - චීනය නිෂේධ බලය පාවිච්චි කරයි



සිරියානු යුද්ධයේදී රසායනික අවි භාවිතා කළැයි එල්ල වන චෝදනා මත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවට සම්බාධක පැනැවීමට උත්සාහ ගත් නමුත් රුසියාව සහ චීනය නිෂේධ බලය පාවිච්චි කරමින් ඊට විරෝධය දැක්වීය.

සිරියානු යුද ගැටුම් ආරම්භ වූයේ 2011 වසරේය. එදා සිට අවස්ථා 7 කදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවට එරෙහිව සම්බාධක පැනැවීමට උත්සාහ කළ නමුත් රුසියාව සහ චීනය ඊට විරෝධය දැක්වීය.

තම රජය සතුව රසායනික අවි ඇති බව සිරියානු රජය විසින් පිළිගෙන ඇති අතර, එම රසායනික අවි විනාශ කිරීමට ද 2013 වසරේ දී සිරියානු රජය එකඟ වී ඇත. එම එකඟතාව ඇති කර ගැනුනේ රුසියාව සහ ඇමෙරිකාව එක් වී කළ යෝජනාවකට අනුවය.

2014 අප්‍රේල් මාසයේත් 2015 මාර්තුවේ අවස්ථා දෙකකදීත් සිරියානු කැරැලිකරුවන් විසින් අත්පත් කරගනු ලැබ සිටි පළාත්වලට සිරියානු ගුවන් හමුදා හෙලිකොප්ටර් විස ක්ලෝරීන් වායුව සහිත රසායනික අවි හෙලා ඇතැයි වාර්තා වේ.  සිරියානු රජයට එරෙහිව සටන් වදින කැරැලිකරුවන් ද සල්ෆර් විස වායුවලින් සිරියානු රජයේ හමුදා ඉලක්ක කරගෙන ප්‍රහාර සිදු කර ඇතැයි ද පැමිණිලි ලැබී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS