සිරකරුවන් 65 ක් රැගත් යානයක් කඩා වැටෙයි



යුක්රේන යුද සිරකරුවන් 65 දෙනකු රැගත්, රුසියන් හමුදාවට අයත් ගුවන් යානයක් රුසියන් යුක්රේන දේශසීමාවේ, බෙල්ගොරොඩ් පළාතේ ගම්මානයක් ආසන්නයට කඩා වැටුණි.

යුද සිරකරුවන්ට අමතරව, ඉලුෂින් අයි.එල්. 76 වර්ගයේ එම ගුවන් යානයේ, නියමුවන් හමුදා නිලධාරීන් ඇතුළු නව දෙනකු සිටි බව පැවැසෙයි. අනතුරින් ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වුණු බව රුසියන් හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්විණි.

රුසියාවත් යුක්රේනයත් අතර, විටින්විට යුද සිරකරුවන් හුවමාරුව සිදුවන අතර, ගුවන් යානයේ සිට ඇත්තේ, එසේ හුවමාරුවක් සඳහා රැගෙන යමින් සිටි යුක්රේන ජාතික හමුදා සෙබළුන් පිරිසකි.

රුසියන් හමුදාව චෝදනා කර ඇත්තේ යානය කඩා වැටුණේ යුක්රේන හමුදා එල්ල කළ ප්‍රහාරයකින් විය හැකි බවය. රුසියන් ගුවන් යානයේ ආරක්ෂාව තහවුරු කරන්නැයි තමන් දැනුවත්ව නොසිටි බව යුක්රේන බුද්ධි අංශ පවසා ඇත.

ගුවන් යානය කඩා වැටී යුක්රේන සොල්දාදුවන් මියයෑම සම්බන්ධයෙන්, යුක්රේන ජනාධිපති සෙලෙස්කී රුසියාවට දොස් නගා ඇත. ඒ, යුක්රේන සිරකරුවන්ට නිසි ආරක්ෂාවක් ලබා නොදීම සම්බන්ධයෙනි.

ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව යුක්රේන ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
ගුවන් යානය කඩා වැටී පුපුරා යන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

යානය උදෑසන 11 ට පමණ කඩා වැටුණේ යබ්ලෝනෝවා නමැති ගම්මානය අසලටය. මෙම ගම්මානය ඇත්තේ බෙල්ගොරොඩ් පළාතේ, බෙල්ගොරොඩ් නුවර සිට කිලෝ මීටර් 70 ක් පමණ දුරිනිය.

ගුවන් යානයේ රුසියන් හමුදාව භාවිතයට ගන්නා එස්.300 වර්ගයේ ගුවන් ආරක්ෂක මිසයිල පද්‍වාහනය ද සිදුවෙමින් තිබුණු බව පැවැසෙයි. අයි.එල්. 76 වර්ගයේ ගුවන් යානා භාණ්ඩ ප්‍රවාහනයටත් හමුදා සොල්දාදුවන් ප්‍රවාහණයටත් යොදා ගනී. ටොන් 47 ක බරක් රැගෙන යා හැකිය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS