සියෙරා ලියොන් රාජ්‍යයට ඇඳිරි නීතිය



සියෙරා ලියොන් රාජ්‍යයට වහා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇඳිරි නීතිය පැනැවීමට රජය තීරණය කර ඇත්තේ, එරට ෆ්‍රීටවුන් අගනුවර හමුදා බැරැක්කවලටත් සහ ප්‍රධාන බන්ධනාගාරයට සන්නද්ධ කණ්ඩායම් පහර දීමට උත්සහ කිරීමෙන් පසුවය. සන්නද්ධ කණ්ඩායම් ගත් එම උත්සාහය ව්‍යර්ථ වූයේ හමුදාව පෙරළා ඔවුන්ට පහර දීමෙනි.

රටේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් ඇඳිරි නීතිය පැනවූ බව සියෙරා ලියොන් ජනාධිපති ජුලියස් මාඩා බයෝ ජාතිය අමතමින් පවසා තිබේ.

සන්නද්ධ කණ්ඩායම් උත්සාහ කර ඇත්තේ, හමුදා සෙබළුන්ට පහර දී ඔවුන් අඩපණ කරමින්, බන්ධනාගාර රැඳෙවියන් පිරිසක් මුදා ගැනීමට යැයි ජනාධිපති ජුලියස් මාඩා බයෝ ජාතිය ඇමැතූ අවස්ථාවේදී වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. සියෙරා ලියොන් බටහිර අප්‍රිකානු රාජ්‍යයකි. පසුගිය ජූනි මාසයේ සියෙරා ලියොන් ජනාධිපතිවරණය පැවැත් වුණු අතර, එයින් 59 හැවිරිදි ජුලියස් මාඩා බයෝ ට යළිත් ජනවරමක් හිමිවිය.

සියෙරා ලියොන් විපක්ෂය වන ‘ජනතා කොංගස් පක්ෂය’ සහ ඊට නායකත්වය දෙන් සමුරා කමාරා එම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරයි. ඒ, අක්‍රමිකතා සිදුවුණු බවට චෝදනා නගමිනි. සමුරා කමාරා ට දිනා ගැනීමට හැකිවුණු බව පැවැසෙන්නේ සියයට 41 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. සියෙරා ලියොන් රාජ්‍යයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ, විපක්ෂයට හිතවත් සන්නද්ධ කණ්ඩායම් යැයි චෝදනා එල්ල වී තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS