සියලු සන්නිවේදන කටයුතු නතර කළා



අසල්වැසි දකුණු කොරියාව සමඟ පවතින සියලු සන්නිවේදන කටයුතු නැවැත්වීමට තීරණය කළේ යැයි උතුරු කොරියාව නිවේදනය කළේය. දකුණු කොරියාවේ ‘සතුරැකම්’ යළි වර්ධනය වීමට පටන්ගෙන ඇති බැවින්, දකුණු කොරියා රජය සමඟ පවත්වන සියලු සන්නිවේදන කටයුතු නවත්වන බව උතුරු කොරියානු රජය නිකුත් කළ නිවේදනයේ සදහන් වී ඇත.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව ලෙස බෙදී වෙන් වී සිටින්නේ එකම ජාතියකි. මෙම බෙදී වෙන්වීම සිදුවූයේ කොරියානු යුද්ධයෙන් පසුව ඇතිකරගත් සාම සැලැස්මට අනුවය. කොරියන් යුද්ධය අවසන් වූයේ 1953 වසරේදීය. දෙරට අතර යුද්ධය එසේ අවසන් වුවත්, දෙරට අතර හටගත් එදිරිවාදිකම් අවසන් නොවිණි. විටින් විට වෙඩි හුවමාරු සිදුවුණු අතර, උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික බලයත්, මිසයිල නිපදවීමේ වැඩසටහනත් ශක්තිමත් කර ගත්තේය.

ඇමෙරිකාවේ සහාය දකුණු කොරියාවට හිමිවන අතර, රැසියාවේත් චීනයේත් සහාය හිමිවන්නේ උතුරු කොරියාවටය. උතුරු කොරියාවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ කිම් ඉල් සුන් ය. කිම් ඉල් සුන් යනු වත්මන් උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ සීයා ය.

දකුණු කොරියානු වත්මන් ජනාධිපතිගේ නම්‍යශීලී ප්‍රතිපත්ති හේතුවෙන්, 2018 වසරේ දී උතුරැ කොරියා නායක කිම් ජොන් උන් සමඟ සාකච්ඡා පවත්වා යහපත් සබඳතා ඇති කර ගැනීමට​ හැකිවිය. ඉන්පසු දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් වර්ධනය විය. අවස්ථා කීපයකදී දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සහ උතුරැ කොරියා නායක කිම් ජොන් උන් අතරේ මුහුණට මුහුණ හමුවිය. ඒ දෙරටේ දේශසීමාවේදීය.

මිත්‍රත්වය එලෙස වර්ධනය වෙද්දී, දෙරට අතර විශේෂ දුරකතන ඇමැතුම් සේවයක්  ද පිහිටුවිණි. උතුරු කොරියාව නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ එම දුරකතන ඇමතුම් සේවය ද නවතා දැමුණු බවය. රජයේ නියෝජිතයන් අතරේ පමණක් නොව දෙරට හමුදාව අතරේ සන්නිවේදන කටයුතු සියල්ල ද අත්හිටුවා ඇතැයි පැවැසෙයි.

පසුගිය ජනවාරියේ සිට උතුරැ කොරියාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදුවූයේ දුරකතන හරහා පමණි. ඒ, ‘කොවිඩ් 19’ වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් උතුරු කොරියාවේ පිහිටුවා තිබුණු දකුණු කොරියානු රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ කාර්යාලය වසා දැමුණි. දකුණු කොරියාවේ ‘කොවිඩ් 19’ වසංගත තත්ත්වයක් පවතින නමුත් උතුරු කොරියාවෙන් තවමත් කිසිදු ‘කොවිඩ් 19’ ආසාදිතයකු හමුවී නැතැයි පැවැසෙයි.

පසුගිය මාස කිහිපය පුරාවට උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අර්බුදයක් පැවැතිණි. නායක කිම් ජොන් උන්ගේ සොහොයුරිය මෙන්ම උපදේශිකාව ද වන කිම් යෝ ජොන් එක් අවස්ථාවක දකුණු කොරියාවට අනතුරු ඇගවූවාය. ඒ, කෝපයට පත් ව උතුරු කොරියාවේ පිහිටුවා ඇති උතුරු දකුණු ඒකාබද්ධ සබඳතා කාර්යාල වසා දමන බව පවසමිනි. දකුණු කොරියානු රාජ්‍ය නියෝජිතයන් කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බවටත්, ඔවුන් ඇතිකරගත් සාම ගිවිසුම් කඩ කළ බවටත්, උතුරැ කොරියාව අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක ඔවුන් නියැලී සිටින බවටත් කිම් යෝ ජොන් එම අවස්ථාවේදී චෝදනා කළාය.

නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්වුණේ ද2018 වසරේ දකුණු කොරියාවත් උතුරු කොරියාවත් අතරේ ඇතිවුණු නිසාය. එහිදී කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට උතුරු කොරියා නායකයා, ජනාධිපති ට්‍රම්ප්ට පොරොන්දුවක් දුන්නේය. ඒ අනුව උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණයට යොමු විය. කෙසේ නමුත් ඇමෙරිකාව අපේක්ෂා කළ අන්දමින් න්‍යෂ්ටික අවිහරණයක් සිදුවූයේ නැත. කෙසේ නමුත් ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් පවසන්නේ, නායක කිම් ජොන් උන් සහ තමා අතර පවතින මිත්‍රත්වය වෙනස් වී නැති බවය.

සෝල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS