සියලු ක්‍රියා මාර්ග වතුරේ

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සාර්ථකව මර්දනය කිරීමට හැකිවුණු නවසීලන්තයෙන් නව ආසාදිතයන් දෙදෙනකු වාර්තාවීමත් සමඟ එරට අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් ප්‍රකාශ කළේ වයිරසය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ ගත් සියලු උත්සාහයන් වතුරේ ගිය බවය.
නවසීලන්තය ‘කොවිඞ් 19’ තුරන් කළ රටක් බව අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් නිවේදනය කළේ පසුගිය 8 වැනිදාය. ඒ, අවසන් ‘කොවිඞ් 19’ ආසාදිත රෝගියා රෝහලෙන් පිටවී දින 17 ක් ගතවනතුරු කිසිදු ආසාදිතයකු වාර්තා නොවීම සැලකිල්ලට ගනිමිනි.
නව ආසාදිතයන් වාර්තා නොවූ බැවින්, රට අදියරෙන් අදියර විවෘත කිරීමටත් සෞඛ්‍ය උපදෙස් මත දෛනික කටයුතු යළි ආරම්භ කිරීමත් සිදුවිය.
සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින්, සමාජ දුරස්ථභාවය රැක ගනිමින්, නව ජීවන රටාවකට හුරුවන්නැයි අගමැතිනිය මෙන්ම සෞඛ්‍ය අංශ ද නවසීලන්ත වැසියන්ට උපදෙස් දී තිබේ.
විදේශවල නවසීලන්ත වැසියන්ට පමණක් රට යළි විවෘත කෙරුණු අතර, වෙනත් විදේශිකයන්ට නවසීලන්තයට ඇතුළුවීමට ඉඩ ලබා දීම සිදුවූයේ අත්‍යාවශ්‍ය රාජකාරියක් සඳහා පමණි. අලුතින් හමුවුණු ආසාදිතයන් දෙදෙනා මහා බ්‍රිතාන්‍යයේ පදිංචි කාන්තාවන් දෙදෙනකු වන අතර ඔවුන් විශේෂ අවසරයක් මත නවසීලන්තයට පැමිණ ඇත.
කාන්තාවන් දෙදෙනා බ්‍රිතාන්‍යයේ සිට ගුවනින් පැමිණ ඇත්තේ ඕක්ලඞ්න්ඞ් නගරයටය. ඔවුන් දෙදෙනාගේ ගමනාන්තය වී ඇත්තේ වෙලින්ටන් අගනුවරය. කෙසේ නමුත් ගුවන්තොටුපොළෙන් පිටවෙද්දී දෙදෙනො නිරෝධායන මධ්‍යස්ථානයට යවනු වෙනුවට, සෞඛ්‍ය බලධාරීන් අවසර දී ඇත්තේ වෙලින්ටන් බලා යෑමටය. ඒ, වෙලින්ටන් නුවරදී වෛද්‍ය පරීක්ෂණයකට ලක් වන්නැයි උපදෙස් දෙමිනි.
නිරෝධායනයට ලක් නොකර, කාන්තාවන් දෙදෙනා මෙසේ පිටත් කර යැවීම, සෞඛ්‍ය අංශ අතින් සිදුවුණු බරපතල වරදක් බව අගමැතිනිය පෙන්වා දී තිබේ. කිලෝ මීටර් හයසිය ගණනක් දුර ගෙවා, කාන්තාවන් දෙදෙනා වෙලින්ටන් බලා පැමිණ ඇත්තේ ඔවුන් විසින් කුළියට මෝටර් රියකිනි. රිය පදවා ඇත්තේ එක් කාන්තාවකි.
වෙලින්ටන් අගනුවරට ගිය අවස්ථාවේ, වෛද්‍ය පරීක්ෂණයට ලක් කෙරුණු අතර එහිදී කාන්තාවන් දෙදෙනා ආසාදිතයන් බව තහවුරු විය. එක් කාන්තාවකගෙන් සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ පෙන්නුම් කරන බවත් අනෙක් කාන්තාවගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැති බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් කියා සිටී.
‘වයිරසය නවසීලන්තයෙන් තුරන් කර ගැනීමට අප සෞඛ්‍ය අංශ සමත් වුණා. ඒක ලොකු ජයග්‍රහණයක්. ජනතාව විනයගරුකවීම එම ජයග්‍රණයට හේතුවක් වුණා. ඒත් මෙම නව ආසාදිතයන් දෙදෙනා ඕක්ලන්ඞ් සිට වෙලිංටන් තෙක් ගමන් කළා. කිලෝ මීටර් 641 ක් දුරක් ගෙවා ඕක්ලන්ඞ් සිට වෙලින්ටන් ගියා මෝටර් රියකින්. ඒක පැය 8 ක ගමනක්. රටට ඇතුළු වෙද්දී, මේ දෙදෙනා පරීක්ෂා කළේ නැහැ. පරීක්ෂා කළේ වෙලින්ටන් නුවරදී. ඒක ලොකු අඩුපාඩුවක්. බරපතල වරදක්.’ යැයි සිය කනස්සල්ල පළ කරමින් අගමැතිනී ජැසෙන්ඞ් එර්ඩන් මාධ්‍ය හමුවේ පැහැදිලි කළය.
කෙසේ නමුත් මේ වනවිට එම ආසාදිත කාන්තාවන් දෙදෙනා සහතික වී ඇත්තේ, ඔවුන් අතරමඟ කිසිදු ස්ථානයක නොනැවතුණු බවත්, වැසිකිළි ගියේ ද මාර්ගය අසල ස්ථානයකට බවත්ය. කාන්තාවන් දෙදෙනාගේ ඕක්ලන්ඞ් සිට වෙලින්ටන් දක්වා ගමන සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් යොදවා ඇතැයි ද සෞඛ්‍ය බලධාරීන් පවසා තිබේ. මෙම සිදුවීමෙන් පසු ‘කොවිඞ් 19’ වසංගත තත්ත්වයක් ඇති නොවීමට විශේෂ සෞඛ්‍ය වැඩපිළිවෙළක් ආරම්භ කළ අතර, සෞඛ්‍ය බලධාරීන්ගේ සහායට හමුදාව යෙදවීමට ද අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් පියවර ගෙන තිබේ.
වෙලිංටන්හිදීය (රොයිටර්)

